the-sri-lankan-girl-becomes-the-boss-of-an-italian-police

ඉතාලි පොලිස් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් එරට 'කැරිබිනේරි' (Carabinieri) පොලිස් බලකායේ ස්ථානාධිපති ධුරයක් සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක තේරී පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන භාග්‍යා සෝලංග ආරච්චි මෙනවිය වන අතර, ඇය ඉතාලි පොලිස් සේවයේ එවැනි ඉහළ වගකීමක් සහිත තනතුරකට පත් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය ලෙස ඉතිහාසයට එක්වෙයි.




ඇයගේ දෙමව්පියන් වන හෙන්රි සෝලංගආරච්චි මහතා සහ මව වෙන්නප්පුව, ශාන්ත ආනා මාවතේ පදිංචිව සිට 1982 වසරේදී රැකියා සඳහා ඉතාලිය බලා සංක්‍රමණය වූවන් වන අතර, වර්තමානයේ ඔවුන් සිය දියණිය සමඟ මිලානෝ නගරයේ පදිංචිව සිටිති. ඉතාලි විශ්වවිද්‍යාලයකින් වාණිජවේදී උපාධිය ලබා සිටින භාග්‍යා මෙනවිය, සිංහල, ඉංග්‍රීසි සහ ඉතාලි යන භාෂාවන්ට අමතරව තවත් භාෂා කිහිපයක් හැසිරවීමේ මනා හැකියාවකින් යුත් චතුර කථිකාවියක ලෙසද ප්‍රකටව සිටින්නීය.

උපාධිධාරිනියක ලෙස ඉතාලි පොලිසියේ ඉහළ තනතුරක් සඳහා අයදුම් කළ ඇය, ඒ වෙනුවෙන් පවත්වන ලද අතිශය තරඟකාරී විභාග මාලාවකින් මෙන්ම බුද්ධි පරීක්ෂණවලින්ද ඉහළම ලකුණු ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වීමට සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. පොලිස් නිලධාරිනියක ලෙස පුහුණුව ලබන අවධියේදී ඇය පෙන්වූ සුවිශේෂී කුසලතාවන් සහ කැපවීම හේතුවෙන්, පුහුණුව අවසානයේදී එරට කැරිබිනේරි පොලිසියේ ස්ථානාධිපතිනියක ලෙස පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.




සාමාන්‍ය පොලිස් පුහුණුවට අමතරව ඇය අතිශය දුෂ්කර යුද පුහුණුවීම් ද සාර්ථකව නිම කර ඇති දේහධාරී තරුණියක වන අතර, ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඇය අඩි හයක් පමණ උසැති සිරුරකින් හෙබි තැනැත්තියකි. ශ්‍රී ලාංකික තරුණියක විදේශීය රටක මෙවැනි ප්‍රබල ආරක්ෂක අංශයක ඉහළම තනතුරක් හෙබවීම එරට වසන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මහත් ඇගයීමට ලක්ව ඇත.

the-sri-lankan-girl-becomes-the-boss-of-an-italian-police