nagananda-is-going-to-be-questioned-about-the-container-323-incident

රේගු දෙපාර්තමේන්තුවෙන් බහාලුම් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරි දින කිහිපය තුළදී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කැඳවීමට තීරණය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විසින් මීට පෙර සිදු කරන ලද විවිධ හෙළිදරව් කිරීම් සැලකිල්ලට ගනිමින්, ඔහුගෙන් සවිස්තරාත්මක කරුණු විමසීම සඳහා මෙලෙස කැඳවීමට කාරක සභාව පියවර ගෙන ඇත.

අදාළ කන්ටේනර් සිද්ධිය පිළිබඳව නාගානන්ද කොඩිතුවක්කු මහතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබීම මෙම තීරණයට හේතු වී තිබේ.




පසුගිය සතියේදී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද මෙම කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කාරක සභාව කටයුතු කළේය. මාධ්‍ය මගින් මෙම සිදුවීමට අදාළ කරුණු රැසක් හෙළි කළ තවත් දේශපාලනඥයන් සහ සෙසු පුද්ගලයන් ද ඉදිරි දිනවලදී මෙම විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කාරක සභාව පත් කර ඇත්තේ බහාලුම් නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහාය. කාරක සභාව ප්‍රථම වරට රැස්වූ දින සිට මාස තුනක කාලසීමාවක් ඇතුළත අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද නියම කර ඇත.