the-sale-of-patties-rolls-and-samosas-will-be-banned-in-colombo-school-canteens

කොළඹ නගර සීමාවට අයත් පාසල්වල ක්‍රියාත්මක වන ආපනශාලා තුළ සිසුන් අතර ඉහළ ඉල්ලුමක් පවතින රෝල්ස්, පැටිස්, සමෝසා සහ කට්ලට් වැනි තෙලෙහි බදින ආහාර වර්ග මෙන්ම අයිස්ක්‍රීම් සහ අයිස් පැකට් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇත. මෙම තීරණය ක්‍රියාවට නංවා ඇත්තේ නගර සභාව විසින් අලුතින් හඳුන්වා දෙන ලද 'කොළඹ මහ නගර සභා පාසල් ආපනශාලා පරිශ්‍රය තුළ පවත්වාගත යුතු ප්‍රතිපත්තිය' නමැති විශේෂ මාර්ගෝපදේශ මාලාවට අනුකූලවය.




මීට අමතරව, සිසුන් නිරන්තරයෙන්ම පානය කිරීමට සහ ආහාරයට ගැනීමට පෙළඹෙන රසකාරක යෙදූ කිරි පැකට්, විවිධ බිස්කට් වර්ග මෙන්ම යෝගට් පාන වර්ග ද විකිණීම තහනම් කරන ලද ආහාර ලේඛනයට ඇතුළත් කර තිබේ. පාසල් තුළ පිහිටි ආපනශාලා සෞඛ්‍යාරක්ෂිත ආහාරවලින් සපිරි තිරසාර ස්ථාන බවට පත්කිරීම මෙහි ප්‍රධාන අභිප්‍රාය වන අතර, ඒ ඔස්සේ යහපත් සෞඛ්‍ය පුරුදු සතු, ඉහළ පෝෂණ මට්ටමකින් යුත් නීරෝගී දරු පරපුරක් බිහි කිරීම කොළඹ මහ නගර සභාවේ මූලික ඉලක්කය වී ඇත.

නව රෙගුලාසි මාලාවට අනුව පාසල් පරිශ්‍රයන්හි විකිණීමට අවසර ලත් ආහාර වර්ග ප්‍රධාන කාණ්ඩ හයක් යටතේ ඉදිරිපත් කර ඇති අතර, ධාන්‍ය හා පිෂ්ඨය අඩංගු ආහාර, එළවළු සහ පළා වර්ග මෙන්ම ශාක හා සත්ත්ව ප්‍රෝටීන අඩංගු ආහාර මීට ඇතුළත් වේ. තවද, නැවුම් පළතුරු, නැවුම් කිරි සහ කිරි පැසවීමෙන් සකස් කරගන්නා නිෂ්පාදන මෙන්ම කජු ඇතුළු තෙල් සහිත ඇට වර්ග සහ විවිධ තෙල් වර්ග ද එම අවසර ලත් කාණ්ඩයන්ට අයත් වේ. ඒ අනුව ඉදිරියේදී පාසල් දරුවන් උදෙසා ප්‍රධාන ආහාර වේල්, පෝෂණ ගුණයෙන් පොහොසත් කෙටි ආහාර (ස්නැක්ස්), නැවුම් කිරි සහ මුදවපු කිරි නිෂ්පාදන මෙන්ම ගුණාත්මක පෝෂණීය පාන වර්ග පමණක් අලෙවි කිරීමට අවස්ථාව සැලසේ.