විදේශීය විශ්වවිද්‍යාලවලින් නීති උපාධි ලබා මෙරටට පැමිණෙන සිසුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය බලධාරීන් විසින් පනවා ඇති නව විභාග කොන්දේසි අත්හිටුවීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විදේශීය නීති උපාධිධාරීන්ට විශේෂ ප්‍රවේශ විභාගයෙන් අනතුරුව නීති විද්‍යාලයේ පළමු සහ දෙවැනි වසර විභාග සඳහා ද පෙනී සිටීම අනිවාර්ය කරමින් ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් වූ අතුරු නියෝග ඉල්ලීමක් මෙලෙස ඉවත දමා ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව සලකා බැලීමට ලක්විය. පාතිමා ශිවර් ඇතුළු විදේශීය උපාධිලාභී සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මෙම රිට් පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ සංස්ථාපිත නීති අධ්‍යයන සභාව සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයායි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නීති අධ්‍යයන සභා රීතිවල පවතින 32 වැනි වගන්තියට අනුව විදේශීය නීති උපාධිධාරීන්ට විශේෂ ප්‍රවේශ විභාගය සමත් වීමෙන් පසු සෘජුවම නීති විද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සිටීමට නීත්‍යානුකූල අවකාශයක් පවතින බවයි. එසේ තිබියදී, ඔවුන්ට පළමු සහ දෙවැනි වසර විභාග ද සම්පූර්ණ කළ යුතු බවට නීති විද්‍යාල බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම තර්කය ප්‍රතික්ෂේප කරමින් කරුණු පැහැදිලි කළේය. මෙරට නීතිඥවරුන් බඳවා ගැනීමේ සමස්ත ක්‍රියාවලිය හා බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට බව පෙන්වා දුන් ඒ මහතා, ශ්‍රේෂ්ඨාධිකරණ රීති ප්‍රකාරව නීති විභාගය යනු කොටස් තුනකින් සමන්විත තනි විභාගයක් බව අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර සිසුන් මෙම විභාග කොටස් නිම කළ යුතු බැවින්, නීති විද්‍යාලයේ තීරණය අත්හිටුවීමට කිසිදු නීතිමය අවශ්‍යතාවක් මතු නොවන බව වගඋත්තරකාර පාර්ශවය ප්‍රකාශ කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අතුරු නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය. මෙම නඩු වාරයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන සුරේන් ප්‍රනාන්දු, විරාන් කොරයා සහ නීතිඥ සුරේන් ඥානදාස යන මහත්වරු පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.
