failure-to-obtain-a-tin-number-will-constitute-a-criminal-offence

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ‘ටින්’ (TIN) අංකයක් ලබාගැනීම අනිවාර්ය කරමින් සකස් කළ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. මෙමඟින් අදාළ හඳුනාගැනීමේ අංකය ලබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රතිපාදන සලසා ඇත.




නව සංශෝධනවලට අනුව, ‘ටින්’ අංකයක් ලබා නොගැනීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිසි පරිදි බදු ගොනු වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හමුවේ පෙනී සිටින ලෙස දන්වන අවස්ථාවලදී ඊට අවනත නොවීම අපරාධමය වරදක් ලෙස සලකනු ලබයි. මෙරට බදු ගෙවන පිරිස ඉහළ නංවා ගැනීම මෙන්ම රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක (20%) ඉලක්කයක් කරා රැගෙන යාම මෙම නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තන් සඳහා රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් සහ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බව පනත් කෙටුම්පතෙහි දක්වා ඇත. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ මෙම විවාදය අද පූර්වාහ්න 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ද පැවැත්වීමට නියමිතව තිබේ.




පාර්ලිමේන්තු සභා වාරයන් අද (19) සිට ලබන සිකුරාදා (22) දක්වා පැවැත්වීමට නියමිතය.