ත්‍රිකුණාමලය මහ රෝහලේදී වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අලුත උපන් බිලිඳෙකු මියයාමේ කනගාටුදායක පුවතක් කප්පල්තුරය ප්‍රදේශයෙන් වාර්තා වේ. වර්ජනයකට මුවා වී අදාළ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහලක සේවය කිරීම හේතුවෙන් තමන්ට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුවූ බව මියගිය බිලිඳාගේ මව වන කප්පල්තුරය ගම්මානයේ පදිංචි 27 හැවිරිදි සතහ්‍යසීලන් නිලක්ෂිකා මහත්මිය චෝදනා කරන්නීය.
පසුගිය අප්‍රේල් 08 වැනිදා දහවල් කාලයේදී ප්‍රසව වේදනාව හේතුවෙන් ඇයව ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව වාට්ටුවට ඇතුළත් කර තිබේ. රෝහල්ගත වීමෙන් අනතුරුව දැඩි ප්‍රසව වේදනාවක් සහ කොන්දේ අමාරුවක් හටගත් බවත්, යෝනි මාර්ගයෙන් රුධිරය පිටවූ බවත් ඇය රෝහල් කාර්ය මණ්ඩලයට කිහිපවරක්ම දැනුම් දී ඇත. එහෙත් වෛද්‍යවරුන් වර්ජනයක නිරත වන බව පවසමින් කිසිදු වෛද්‍යවරයෙකු පැමිණ ඇයව පරීක්ෂා කර නොමැති අතර, පළමු දරු ප්‍රසූතිය බැවින් තවදුරටත් කාලය ඇති බව පමණක් වාට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් පවසා තිබේ.
අප්‍රේල් 09 වැනිදා උදෑසන වන විට තත්ත්වය වඩාත් දරුණු අතට හැරී අධික ලෙස රුධිරය වහනය වීම ආරම්භ වීමත් සමඟම, ඇඳ සිටි ඇඳුම් පිටින්ම ඇයව සූතිකාගාරය වෙත රැගෙන ගොස් ඇත. එදින උදෑසන 9.54 ට පමණ දරුවා ප්‍රසූත කර ඇති නමුත්, මවට බැලීමට හෝ ඉඩ නොදී කාර්ය මණ්ඩලය විසින් බිලිඳාව රැගෙන ගොස් තිබේ. පසුව සිදු කරන ලද මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ මළ අපද්‍රව්‍ය කුසට යාම හේතුවෙන් බිලිඳා මියගොස් ඇති බවයි. නිසි වේලාවට වෛද්‍යවරුන් පරීක්ෂා කර සිසේරියන් සැත්කමක් හෝ සිදු කළේ නම් තම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාව තිබූ බව නිලක්ෂිකා මහත්මිය දැඩි කම්පනයෙන් යුතුව පවසන්නීය.
එම මව මෙසේද පැවසුවාය.
"රෝහලට ඇතුළත් වුණ වෙලාවේ ඉඳලා හත්අට වතාවක් මට අමාරුයි කියලා කිවුවා. ප්‍රසව් වේදනාව තදින්ම දැනෙන බව කිවුවා. කොන්ද අතපය වේදනා බව කිවුවා. මගේ යෝනි මාර්ගයෙන් රුධිරය සමඟ දිය පිටවෙන බව පැවසුවා. වාට්ටුවේ කනිෂ්ඨ වෛද්‍යවරයා අනෙක් මවුවරුන් බලලා ඇවිත් මාව බලනකම් වාට්ටුවේ කිසිම කෙනෙක් මාව බැලුවේ නෑ. රෝහලට ඇතුළත් කළ වේලාවේ ප්‍රසව හා නාරිවේදී විශේෂ වෛද්‍ය නිලධාරි පරීක්ෂා කරලා සීසර් කළානම් මගේ දරුවා බේරා ගන්න තිබුණා, යනුවෙන් කඳුළු පිරි දෑස් පිසමින් ජංගම දුරකතනය තුළ පැවති බිලිඳු දරුවාගේ ඡායාරූපය පෙන්නුවාය.
අප්‍රේල් 08 වනිදා උදේ ඉඳලාම මට අමාරු වුණා. පස්සේ අම්මා මාව ත්‍රිකුණාමලය මහ රෝහලට දහවල් එක්කගෙන ගියා. මාව ප්‍රසව වාට්ටුවේ දහවල් 1.45 ට විතර නැවැත්තුවා. කනිෂ්ඨ වෛද්‍යවරයෙන් සාමාන්‍ය විදිහට මාව බැලුවා. තව දින තියෙනවා ඒ නිසා විවේක ගන්න කියලා ඇඳක් ලබා දුන්නා. මට ගොඩක් අමාරුයි කියලා මම වාට්ටුවේ හෙදියන්ටත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියටත් කිවුවා. ඒ අය කිවුවේ වෛද්‍යවරුන් තමා බලන්න ඕන වී.ඕ.ජී. මහත්තයාට කියන්න කෝල් කරලා කියන්න කියලා. පස්සේ හවස ලෙඩ්ඩු බලන වේලාවේ අම්මා ආවා. මම අම්මට කිවුවා. මට අමාරුයි කියලා. අම්මත් ගිහින් වාට්ටුවේ දොස්තර මහත්තයාට කිවුවා. එයාලා කිවුවේ පළමුවෙනි බබානේ. එහෙම තමා තව කල් තියෙනවා කියලා. මට ආපහු රෑ 09.00 ට අමාරු වුණා. මගේ ඇඳට තියලා බෙල්ට් එකක් දාලා තිබ්බා. මට කොන්ද අමාරු වුණා. මම කොච්චර කිවුවත් කිසිම වෛද්‍යවරයෙක් ඇවිත් බැලුවේ නෑ. දොස්තරලා වැඩ වර්ජනයක් කියලා වාට්ටුවේ අය කිවුවා.
09 වනිදා උදේ 06.00 ට විතර අම්මා මගේ මහත්තයා මාව බලන්න ආවා. මම අමාරුවෙන් ඉන්නේ සීසර් කරලා හරි බබාව ගමු කියලා මහත්තයා වාට්ටුවේ වෛද්‍යවරයාට කිවුවා. 07.00 වෙද්දී ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි කියලා අම්මාවයි මහත්තයාවයි වාට්ටුවෙන් යන්න කිවුවා. පස්සේ උදේ මට ගොඩක් ලේ යනවා කියලා මම කිවුවා. එතකොට තමයි මාව ඇදගෙන හිටපු ඇඳුම් පිටින්ම සූතිකාගාරයට අරන් ගියේ.09 වෙනිදා උදේ 09.54ට මට බබා ලැබුණා. මට බබාව පෙන්නුවේ නෑ. බබා අරන් පවුල් සෞඛ්‍ය සේවිකාව දුවලා ගියා. හවස 04.00 වෙනකම් මාව සූතිකාගාරයේ තියන් හිටියා. "
මෙම ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල්. වීරසේන සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී. සියඹලාපිටිය යන මහත්වරුන් බව පවුලේ ඥාතීහු අවධාරණය කරති. ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් රාජකාරිය පැහැර හැර පෞද්ගලික රෝහල්වල සේවය කරන මෙවැනි වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව මවගේ පාර්ශ්වය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් ඔවුහු පසුගිය 13 වැනිදා ත්‍රිකුණාමලය පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, එය වැඩිදුර විමර්ශන සඳහා වරාය පොලීසිය වෙත යොමු කර ඇත.
සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විටත් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රාජකාරි වේලාව තුළ සේවය පැහැර හරිමින් පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ විනය විරෝධී හැසිරීම යන චෝදනා මත අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවය තහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන ඇත. තවද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබේ. මෑත කාලය තුළ ත්‍රිකුණාමලය මහ රෝහලෙන් මෙවැනි බිලිඳු මරණ හයක් පමණ වාර්තා වී ඇති බව රෝහල් හදිසි මරණ පරීක්ෂක වාර්තා මගින් තහවුරු වන බැවින්, මීට එරෙහිව කඩිනම් නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ද දැඩිව ඉල්ලා සිටිති.
