indians-who-stayed-in-galle-committing-cyber-crimes-to-court

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ අන්තර්ජාලය හරහා නීතිවිරෝධී ලෙස මුදල් ඉපයීමේ සයිබර් අපරාධ ජාලයකට සම්බන්ධ විදේශිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට ආරක්ෂක අංශ මේ වනවිට කටයුතු කර තිබේ.




ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 84 දෙනකු සහ ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තවත් ඉන්දීය ජාතිකයන් 27 දෙනකු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප නියම කෙරිණි. මීට අමතරව අදාළ සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටත්, ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබීය. මොවුන් අන්තර්ජාලය හරහා මෙම මූල්‍ය වංචාවන් සිදුකර ඇති බවත්, ඔවුන් සතුව තිබී පරිගණක 49ක් සහ ජංගම දුරකථන 45ක් පොලිස් භාරයට ගත් බවත් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

කෙසේ වෙතත්, තම සේවාදායකයින් කිසිදු වරදක් සිදුකර නොමැති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර, ජ්‍යෙෂ්ඨ නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ මහතා ඇතුළු නුවන් බාලගේ, ඒ.ඩී.සී. දර්ශණ සහ චලක ද සිල්වා යන නීතිඥවරුන් සැකකරුවන් 27 දෙනා වෙනුවෙන් පෙනී සිටියහ. නඩුවේ ඉදිරි කටයුතු සඳහා නඩු විභාගය 21 වැනිදා දක්වා කල්තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, එදිනට හින්දි භාෂා පරිවර්තකයකු අධිකරණයට කැඳවන ලෙසද උපදෙස් ලබා දුන්නේය. මෙම වැටලීම් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.කේ.එස්. රූපසිංහ මහතාගේ උපදෙස් මත, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල, ප්‍රධාන පොලිස් පරීක්ෂක මධුරංග, උප පොලිස් පරීක්ෂක රෝහණ ඇතුළු සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් රැසකින් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබිණි.




මේ අතර, ඊට සමගාමීව දොඩන්දූව ප්‍රදේශයේ ලැගුම්හලක රහසිගතව පවත්වාගෙන ගිය තවත් සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් වටලා විදේශිකයන් 55 දෙනෙකු පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 20 දෙනෙකු සිටින බව ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තහවුරු කළේය. එහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක 22ක් සහ ජංගම දුරකථන 152ක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

මෙම විදේශිකයින් පිරිස අදාළ ජාවාරම සිදුකිරීම සඳහා දොඩන්දූව ප්‍රදේශයේ පිහිටි අදාළ ලැගුම්හල මසකට රුපියල් ලක්ෂ පහක කුලී පදනමක් මත ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත්වීමට දින කිහිපයකට පෙර ඔවුන් මෙම ස්ථානයට පැමිණ ඇති අතර, මෙම සයිබර් අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන මොළකරු වෙනත් ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 55 දෙනාගෙන් යුත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සයිබර් අපරාධ අංශයට භාරදීමට නියමිතව තිබිණි.

indians-who-stayed-in-galle-committing-cyber-crimes-to-court