හිටපු වැඩබලන බලශක්ති අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ ධුර කාලය තුළ නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි සැලකෙන දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මනුරංග මහතා විසින් ඊයේ (13) විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට භාරදෙනු ලැබීය.
මෙම පැමිණිල්ලට අනුව, 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙට්‍රික් ටොන් 72,000 ක ගල්අඟුරු ප්‍රසම්පාදනය කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටි දැඩි ලෙස උල්ලංඝනය කර තිබේ. ඉන්දුනීසියාවේ පී.ටී. ඇරිස්ටා මිත්‍රා ජයා (PT Arista Mitra Jaya) සමාගම විසින් දින 200 ක පොලී රහිත ණය සහනයක්ද සහිතව මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 240 ක් වැනි වාසිදායක මිලකට සැපයීමට ඉදිරිපත්ව සිටි අතර, ඒ සඳහා ප්‍රසම්පාදන කමිටුවේ, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව තිබී ඇත.එවැනි පසුබිමක් තුළ, 2023 පෙබරවාරි මාසයේදී එවකට වැඩබලන අමාත්‍යවරයාව සිටි ඩී.වී. චානක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත සාවද්‍ය තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වේ. අදාළ ඉන්දුනීසියානු සමාගම ඉදිරිපත් කළ ණයවර ලිපිය ඔවුන්ගේ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණද, සත්‍ය වශයෙන්ම එය ප්‍රතික්ෂේප වී ඇත්තේ කලින් ඉවත් කිරීමට එකඟ වී තිබූ අටවැනි වගන්තිය එම ණයවර ලිපියටම ඇතුළත් කර නිකුත් කිරීම නිසා බව අනාවරණය වී ඇත. මෙම සැලසුම් සහගත ක්‍රියාවලිය හරහා අදාළ සැපයුම ටෙන්ඩර් මණ්ඩලයෙන් තෝරා නොගත් 'කොරල් එනර්ජි' (Coral Energy) සහ 'කම්බාස් ඉන්ඩස්ට්‍රියල්' (Kambas Industrial) යන සමාගම් වෙත වැඩි මිලකට ලබාදී ඇති අතර, ඉන් රජයට අතිමහත් මූල්‍ය අලාභයක් සිදුවී තිබේ. අමාත්‍යවරයා විසින් මෙලෙස අනුකමිටුව වෙත සාවද්‍ය තොරතුරු සැපයීමට එරෙහිව සිය විරෝධය පළ කරමින්, ගල්අඟුරු කැබිනට් අනුකාරක සභාව නියෝජනය කළ ජනාධිපති නීතිඥවරුන් වන විජයදාස රාජපක්ෂ සහ අලි සබ්‍රි යන අමාත්‍යවරුන් එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇත.
මීට අමතරව, ඊයේ දිනයේදී තවත් පාර්ශ්ව කිහිපයක්ම ගල්අඟුරු වංචාවන් සම්බන්ධයෙන් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කරනු ලැබීය. ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් මාපලගම සහ ජාතික වෘත්තීය සිවිල් පෙරමුණේ කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව යන මහත්වරුන්ද ඒ අතර වූහ. චම්පික රණවක සහ පවිත්‍රා වන්නිආරච්චි යන අය බලශක්ති අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සිව් වසරක කාලය තුළ නිසි කැබිනට් අනුමැතියකින් හෝ ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙට්‍රික් ටොන් ලක්ෂ පහකට අධික ගල්අඟුරු ප්‍රමාණයක් ආනයනය කර ඇති බව මන්ත්‍රී රුවන් මාපලගම මහතා එහිදී පෙන්වා දුන්නේය. සමාගම් තුනක් යොදාගනිමින් අවස්ථා හයකදී සිදුකර ඇති මෙම නීතිවිරෝධී ගනුදෙනු හේතුවෙන් රජයට රුපියල් කෝටි 670 කට අධික පාඩුවක් සිදුව ඇති බවට ඔහු විසින් ලිඛිත සාක්ෂිද ඉදිරිපත් කර තිබේ. ඊට සමගාමීව, 'මගෙන් රටට' සංවිධානයේ සභාපති හා 'සිවිල් බුද්ධි පෙරමුණේ' ප්‍රධානී සංජය මහවත්ත මහතා විසින්ද අතීතයේ සිදුවූ ගල්අඟුරු ආනයන අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු කොමිසමට ලබාදී ඇත.
වත්මන් ජාතික ජන බලවේග රජය විසින් හඳුන්වා දෙන ලද නව ගල්අඟුරු ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් විපක්ෂය විසින් එල්ල කළ චෝදනා පදනම් කරගනිමින් ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. මෙම කොමිසම වෙත ප්‍රථම පැමිණිල්ල පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ අතර, එය 2009-2010 කාලය තුළ සුදුසුකම් සපුරා තිබූ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවූ සමාගමකට අත්තනෝමතික ලෙස ටෙන්ඩරයක් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකි. ගල්අඟුරු මිලදී ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම විශේෂ ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීම සඳහා ලබාදී ඇති කාලසීමාව එළඹෙන මැයි මස 22 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබේ.
