බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රී 11.45 ට පමණ නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිමිනම මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව අද (09) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.
මෙම අපරාධ සම්බන්ධයෙන් බාල වයස්කාර වින්දිත දැරියගේ මවද, මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුරුව ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඊට අමතරව ඇගේ පෙම්වතා යයි කියන කොන්දොස්තර රැකියාව කරන අයෙකු හා වෙළෙන්දෙකුද අත්අඩංගුවේ පසුවේ. ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීම පමාවීමෙන් පසු අධිකරණ වරෙන්තු නිකුත්වීම නිසා පොලිසිය ක්‍රියාත්මක විය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා ඊයේ (08) නිකුත් කළ වරෙන්තුවකට අනුවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සහ කරුණු දැක්වීම් මත මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. මේ අතර, මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ මුදලට දැරිය අලෙවි කිරීම යන චෝදනා මත ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් දැරියගේ මව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සමාජය තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ මෙම අපයෝජන සිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගිය අප්‍රේල් 27 වනදා නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී දැරිය පොලිස් භාරයට පත්වීමෙන් අනතුරුවය. ඇය ගම්පහ මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, අවස්ථා ගණනාවකදී ඇය දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එහිදී තමන්ව පළමුවෙන් දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බවත්, පසුව පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් ද තමන් අපයෝජනයට ලක්වූ බවත් දැරිය විසින් හෙළිදරව් කර ඇත.
පසුගිය අප්‍රේල් 04 වනදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙන්ම ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හරහා ද මෙම අපරාධය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය. මූලික පොලිස් විමර්ශන හරහා හෙළි වී ඇති වඩාත් බරපතළ කරුණ වන්නේ, දැරියගේ මව්පියන් විසින් වරින් වර විශාල වශයෙන් මුදල් ලබාගනිමින් සිය පහළොස් හැවිරිදි දියණියව අදාළ විහාරාධිපතිවරයා වෙත ලබා දී ඇති බවයි. අපරාධයට අදාළ තවත් ප්‍රබල සාක්ෂියක් ලෙස, විහාරාධිපති හිමියන් අතින් පළමු අපයෝජනය සිදුවූ අවස්ථාවේ දැරිය හැඳ සිටි රුධිරය තැවරුණු ඇඳුම් ඇයගේ නිවස ආසන්නයේ වළදමා තිබියදී සොයාගැනීමට පොලිසිය සමත් විය. එම ඇඳුම් සහ අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.
මෙම සිද්ධියේ පළමු අපරාධය අනුරාධපුරයේදී සිදුවී ඇති බැවින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මේ වන විට විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පවරා තිබේ. ඊට පෙර, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වින්දිත දැරිය ද අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර ඇත. මේ වන විට නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
