12000-cyber-crime-complaints-against-women

පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් කාන්තාවන්ට එරෙහිව සිදුවූ සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි දොළොස්දහස ඉක්මවා වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍ර මූර්ති මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එහිදී කාන්තාවන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සභාවට කරුණු පැහැදිලි කළේය.




අමාත්‍යවරයා විසින් සපයන ලද දත්තයන්ට අනුව 2023 වසරේ සිට 2025 වසර දක්වා කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12,004ක් පොලීසියට ලැබී තිබේ. 2023 වසරේදී පැමිණිලි 4,103ක් වාර්තා වී ඇති අතර ඉන් පැමිණිලි 755ක් පමණ මේ වන විට විසඳා, තවත් පැමිණිලි 3,348ක් සම්බන්ධයෙන් විමර්ශන සහ නඩු පැවරීම් සිදු කරමින් පවතී. 2024 වසරේදී වාර්තා වූ පැමිණිලි 3,159න් 982ක් විසඳා ඇති බවත්, ඉතිරි පැමිණිලි 2,177 සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, 2025 වසරේදී පමණක් එවැනි පැමිණිලි 4,742ක් ලැබී ඇති අතර ඉන් 572ක් විසඳා, තවත් පැමිණිලි 4,170ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ක්‍රියාත්මකව පවතී.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය, පරිගණක හදිසි අපරාධ අංශ ඇතුළු අදාළ ආයතන ජාත්‍යන්තර සහායද ඇතිව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා කාන්තාවන්ට සිදුවන හිරිහැර කිරීම්වලට අදාළ අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහ නිරීක්ෂණ පද්ධති භාවිතයට ගැනෙන බවද හෙතෙම අවධාරණය කළේය. මීට අමතරව, කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ නඩු සඳහා මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, දැඩි නීති බලාත්මක කිරීමේ පියවරයන් ද හඳුන්වා දී තිබේ.




මෙම අපරාධ පුළුල් ලෙස විමර්ශනය කිරීමේ අරමුණින් උතුරු සහ නැඟෙනහිර පළාත් ද ඇතුළුව දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශේෂිත සයිබර් අපරාධ වැළැක්වීමේ ඒකක මේ වන විටත් පිහිටුවා ඇත. ඒ හරහා ඕනෑම අයකුට තම පළාත තුළදීම සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ පහසුකම සලසා දී තිබේ. සයිබර් අපරාධයක් විසඳීම සඳහා ගතවන කාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවද, ඇතැම් සිදුවීම් සඳහා වසරක් හෝ දෙකක් වැනි කාලයක් ගතවිය හැකි බවත්, කාන්තාවන් සහ දැරියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.