ජාත්‍යන්තරය පවා කම්පා කළ මහා පරිමාණ ගුවන් යානා ගනුදෙනුවක විත්ති කූඩුව අවසන් වූයේ, කිසිවෙකුත් නොසිතූ අබිරහස් මරණයකිනි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ නිසල දේහය, මැයි 08 වැනිදා අලුයම කොල්ලුපිටියේ පිහිටි ප්‍රසිද්ධ නිවසකින් සොයා ගැනුණි. හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ පවුලට අයත් යැයි කියන මෙම නිවසේ සිදු වූ ඔහුගේ මරණය මේ වන විටත් පොලිසිය සලකන්නේ දැඩි සැකකටයුතු සිදුවීමක් ලෙසිනි. මෙම ඛේදජනක ඉරණම ඔහුට අත්වූයේ, අධිකරණයෙන් ඇප ලබා දින කිහිපයක් ගතවීමටත් මත්තෙනි.
ඇමරිකානු ඩොලර් මිලියන දෙකක දැවැන්ත අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ එයාර් බස් ගනුදෙනුව, මෙරට මෑත ඉතිහාසයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමකි. පසුගිය මාර්තු 12 වැනිදා සිට දින පනහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහුව, දැඩි කොන්දේසි මත ඇප මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ පසුගිය මැයි 05 වැනිදාය. ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයේ සුවිශේෂී කරුණු දැක්වීම් සහ සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ දැඩි විරෝධය මැද වුවද අධිකරණය මෙම තීරණය ලබා දුන්නේය. රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක්, රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප තුනක්, විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීම සහ විදේශ ගමන් තහනමක් එම කොන්දේසි අතර විය.
ඔහු මෙවර රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවස්ථාවේ එයාර් බස් ගනුදෙනුව ගැන හෙළි කළ කරුණු හිටපු ජනපතිවරයෙක්ට එරෙහි බරපතල චෝදනාවක් විය. මේ දක්වා විවිධ උපායන් මැද වරදක නොපැටළුණ මහින්ද රාජපක්ෂ ගැන ජනතා අවිශ්වාසය මතු කිරීමට මෙම හෙළිදරව් කිරීම් හේතු විය. මෙවැනි කලාතුරකින් සිදුවූ හෙළිදරව් කිරීමක් කළ අයෙකු නිදහස් කරනවාට අල්ලස් කොමිසම අධිකරණයේදී දිගින් දිගට විරෝධය පළ කළ නමුත් මහේස්ත්‍රාත්වරයාගේ තීරණය වෙනස් එකක් විය.
නමුත් නීතියේ රැහැනින් මිදී නිදහසේ හුස්ම ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණේ දින දෙකක් වැනි ඉතා කෙටි කාලයකට පමණි. මැයි 07 වැනිදා මෙම නඩුවට අදාළව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ හෙළි කරන ලද තොරතුරකින් සමස්ත සිදුවීමම කණපිට පෙරළුණි. චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇපයට අත්සන් තැබූ පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකුම, රුපියල් පහළොස් දහසක මුදලකට කුලියට ගත් අය බවට එහිදී අනාවරණය විය. අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සහ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ඔහු වහාම යළි අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා එදිනම යළිත් වරෙන්තුවක් නිකුත් කළේය.
යළිත් වරක් යකඩ කූරු අතරට යාමේ අවදානම සහ දේශපාලක ප්‍රතිරූප වලට වියහැකි හානි සහ සමාජය ඉදිරියේ එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔහු ගත කළ අවසන් පැය කිහිපය තුළ කුමක් සිදුවූවාද යන්න තවමත් අබිරහසකි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු පොලිසිය මේ පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වී සිටී.
බලය, ධනය සහ කීර්තිය කෙතරම් තිබුණද, නීතියේ දෙවොල ඉදිරියේ ඇවිලුණු ගිනිදැල් නිවී ගියේ තවත් බොහෝ ප්‍රශ්න ඉතිරි කරමින් එක් ජීවිතයක් අකාලයේ අහිමි කරමිනි.