major-general-nilantha-premaratne-is-the-new-chief-of-staff-of-the-army

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම තනතුර වන මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස සිදුකළ මෙම නව පත්වීම ඊයේ (29) දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බවයි.

සන්නද්ධ බලකායන්හි සේනාධිනායකයා වන ජනාධිපතිවරයා විසින් මෙම උසස්වීම සහ පත්වීම ලබාදී ඇත්තේ යුද හමුදාපතිවරයාගේ විශේෂ නිර්දේශයකට අනුවය.




මෙම වගකිවයුතු ධුරයට පත්වීමට පෙර මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදාවේ මෙහෙයුම් මට්ටමේ මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ඉහළ තනතුරු හොබවමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇති අත්දැකීම් බහුල දක්ෂ නිලධාරියෙකි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහිවූ කීර්තිමත් හමුදා සාමාජිකයෙකු වන ඒ මහතා වසර තිහකට අධික සිය යුද සේවා කාලය තුළ මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරැකීම වෙනුවෙන් ප්‍රශංසනීය දායකත්වයක් ලබා දී ඇති බව යුද හමුදා මූලස්ථානය පෙන්වා දෙයි.

හමුදා සම්ප්‍රදායන් හා චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව ඉදිරි දින කිහිපය ඇතුළත ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය නව ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.