kapila-is-lying-on-the-ground-with-his-neck-hanging

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔහුගේ මළ සිරුර අද (08) පෙරවරුවේ කොළඹ, කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ අංක 37/38 දරන ස්ථානයේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක දෙවන මහලේ කාමරයක් තුළ තිබී සොයාගන්නා ලදී.

මියගිය කපිල චන්ද්‍රසේන මහතා අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ බාල නැගණියගේ සැමියා වන අතර, ඔහු ඊයේ (07) සවස් යාමයේ අදාළ නිවසට පැමිණ ඇත්තේ එහි රාත්‍රිය ගත කිරීමේ අරමුණෙනි.




පසුගිය සමයේ අල්ලස් චෝදනා මත දින පනස් හතරක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඒ මහතා, දැඩි කොන්දේසි මත ඇප මුදා හැර සිටි අයෙකි. කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඇප ලබා දීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා රුපියල් පහළොස් දහසක මුදලකට කුලියට ගත් අය බව අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගැනීමත් සමඟ අධිකරණයේ විශ්වාසය කඩ කිරීමේ හේතුව මත අද දිනයේදී ඔහුව යළිත් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබී ඇත. මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔහුගේ සමීපතම ඥාතීන් පිරිසක් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සමඟ ඊයේ සන්ධ්‍යාවේ උපදේශන සැසියකට ද සහභාගී වී ඇති අතර, එහිදී තීරණය වී ඇත්තේ මෝසමක් මාර්ගයෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

අද පෙරවරු හතයි තිහට පමණ ජනාධිපති නීතිඥවරයාගේ කණ්ඩායමට අයත් නීතිඥවරයෙකු අද දිනට නියමිතව තිබූ අධිකරණ කටයුත්ත පිළිබඳව දැනුවත් කිරීම සඳහා චන්ද්‍රසේන මහතා රැඳී සිටි නිවසට පැමිණ තිබේ. එහිදී ඔහු සිටි කාමරයේ දොර අගුළු දමා තිබීම හේතුවෙන්, නිවසේ සිටි කාන්තාවකගේ ද සහාය ඇතිව අමතර යතුරක් භාවිතයෙන් දොර විවෘත කර ඇති අතර, එහිදී ඔහු මියගොස් සිටින ආකාරය දැකගන්නට ලැබී ඇත. සිරුර සොයාගන්නා අවස්ථාව වන විට ඔහු පුටුවක් අසල බිම වාඩි වී, හිස පුටුව මත වූ කුෂන් එකක් මත තබාගෙන සිටින ඉරියව්වකින් පසුවී ඇති අතර, සිරුරේ පහළ කොටස බිම ස්පර්ශ වෙමින් තිබී ඇත.




එමෙන්ම මියගිය පුද්ගලයාගේ ගෙල වටා කැඩී ගිය රෙදි පටියක කොටසක් තිබී ඇති අතර, එහි අනෙක් කොටස නාන කාමරයේ දොරේ ගැටගසා තිබූ බව පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර ඇත.

මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මරණය සිදුවූ සැකසහිත ආකාරය ගැන කරුණු හෙළි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



මෙම මරණය ගෙල වැලලාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් ද, නැතහොත් ඊට කිසියම් අපරාධමය පසුබිමක් බලපා ඇද්ද යන්න පිළිබඳව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ කොල්ලුපිටිය පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති දේහය, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මියගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මේ වන විට විදෙස්ගත වී සිටීම ඊට හේතුවයි.

kapila-is-lying-on-the-ground-with-his-neck-hanging