dompe-drug-dealing-big-sadhu-molested-little-sadhu

දොම්පේ ප්‍රදේශයේ පැරණි විහාරස්ථානයක වැඩසිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ 27 හැවිරිදි භික්ෂුවක දොම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.




පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකාර හිමි නම විසින් අදාළ සාමණේර හිමිනමට දීර්ඝ කාලයක සිට මෙලෙස බරපතළ ලිංගික අතවර සිදු කර ඇති බවයි. මෙම සිද්ධිය හේතුවෙන් පීඩාවට පත් සාමණේර හිමිනම ප්‍රතිකාර සඳහා ගම්පහ රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මොහුට එරෙහිව මීට පෙරද ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ගම්පහ සහ කළුතර මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවයි. එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවකු බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.




බරපතළ ලෙස අපයෝජනයට ලක් වූ 17 හැවිරිදි හිමිනම ආරක්ෂිත සහ සුදුසු භාරකාරත්වයකට පත් කිරීම සඳහා ඊයේ (11) පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

දොම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා උප පොලිස් පරීක්ෂිකා අනුෂා ධර්මසේන සහ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත (69428) යන නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.