mahinda-leaves-unharmed

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. අද උදෑසන 9.30 ට පමණ එම කොමිසම වෙත පැමිණි ඒ මහතා පැය දෙකකට ආසන්න කාලයක් අදාළ විමර්ශන නිලධාරීන්ට කරුණු දැක්වීමෙන් අනතුරුව පෙරවරු 11.50 ට පමණ ඉන් පිටව ගියේය.

හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ඔහුට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පාක්ෂිකයින් රැසක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.




මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් එයාර්බස් A-330 වර්ගයේ ගුවන් යානා හයක් සහ A-350 වර්ගයේ ගුවන් යානා අටක් මිලදී ගැනීමේ ක්‍රියාවලියයි. අදාළ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, මියගිය කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ල වී තිබුණි. මෙම සිද්ධියට අදාළව අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත යටතේ අනාවරණය වූ කරුණු මත අල්ලස් කොමිසම විසින් පසුගිය මාර්තු 12 වනදා කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට කරුණු වාර්තා කළ අල්ලස් කොමිසම කියා සිටියේ, තමන්ට ලැබුණු ඩොලර් මිලියන දෙකක අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පියංකර ජයරත්න මහතාටත්, රුපියල් මිලියන 60 ක මුදලක් අවස්ථා තුනකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ලබා දුන් බවට කපිල චන්ද්‍රසේන මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවයි. එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව විමර්ශනය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා අද දිනයේ කොමිසම හමුවට කැඳවා තිබූ අතර, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අද දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. මීට අමතරව, මෙම එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා ද ඊයේ දිනයේදී අල්ලස් කොමිසම වෙත කැඳවා තිබී ඇත.




කෙසේ වෙතත්, අල්ලස් කොමිසමේ බලධාරීන් විසින් තමන්ට තර්ජනය කර බලහත්කාරයෙන් අදාළ ප්‍රකාශය ලබා ගත් බවට සඳහන් කරමින් කපිල චන්ද්‍රසේන මහතාගේ නීතිඥවරුන් විසින් මීට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කර තිබුණි. මෙවැනි ආන්දෝලනාත්මක පසුබිමක් තුළ පසුගිය සිකුරාදා දිනයේදී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස සොයා ගැනුණි.

mahinda-leaves-unharmed

mahinda-leaves-unharmed

mahinda-leaves-unharmed

mahinda-leaves-unharmed

mahinda-leaves-unharmed