
තරුණයකු සමඟ පැවැත්වූ ප්‍රේම සබඳතාව නතර කර අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසට ලැබුණු අවවාදයක් දරාගත නොහැකිව 16 හැවිරිදි සිසුවියක ඖෂධ අධිමාත්‍රාවක් පානය කර දිවි නසා ගැනීමේ පුවතක් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මහියංගණය මූලික රෝහලේදී පසුගියදා (09) පැවති හදිසි මරණ පරීක්ෂණයේදී මේ පිළිබඳ සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් 2 වැනිදා නිවසින් බැහැරව ගොස් ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසමිනි. කෙසේ වෙතත්, ඇය එදින පන්තියට නොගොස් සිය පෙම්වතා සමඟ රත්කිඳ ජලාශය අසල රැඳී සිටියදී පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඒ අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් දෙදෙනා පොලිසිය වෙත රැගෙන විත් ඇති අතර, පසුව දෙමාපියන් ද ගෙන්වා අවවාද කිරීමෙන් අනතුරුව දැරිය ඇගේ මව වෙත භාර දී තිබේ.
පොලිසියේ උපදෙස් පරිදි පසුදින උදෑසන දැරියගේ උප්පැන්න සහතිකය රැගෙන මව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර, එම අවස්ථාවේදී නිවසේ සිටි වැඩිමහල් සහෝදරිය තම නංගි හදිසියේ අසනීප වී සිහිසුන්ව වැටී සිටින බවට මවට දුරකථනයෙන් දැනුම් දී ඇත. වහාම නිවසට පැමිණි මව දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව දැක අසල්වාසීන්ගේ සහාය ඇතිව ඇය ගිරාඳුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට මාරු කර යැවුණු මෙම සිසුවිය එහි දැඩි සත්කාර ඒකකයේ දින හයකට අධික කාලයක් මරණය සමඟ සටන් කරමින් ප්‍රතිකාර ලබා ඇත. කෙසේ වෙතත්, ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් පසුගිය 09 වැනිදා ඇය මෙලොව හැර ගොස් තිබේ.
හසලක උල්පතගම හදිසි මරණ පරීක්ෂක එච්. එම්. ටී. බී. හේරත් මහතා හමුවේ මෙම මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර, එහිදී ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ සැරයන් චන්ද්‍රසෝම මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත මියගිය දැරියගේ මව සහ වැඩිමහල් සහෝදරිය සාක්ෂි ලබා දෙන ලදී. ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙසට මව, සහෝදරිය සහ පොලිසිය කළ අවවාදයන් හේතුවෙන් ඇති වූ දැඩි සිත්තැවුල මෙම අවාසනාවන්ත තීරණයට හේතු වී ඇති බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.
