සිය නිවස වෙත ඩෙංගු මර්දන පරීක්ෂාව සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහර දීමට තැත් කිරීමේ චෝදනාවලට ප්‍රසිද්ධ ගායන ශිල්පී ‘චිලී’ හෙවත් වෙළදගොඩ පතිරණගේ තිලංක විදූෂ නමැත්තා වැරදිකරු බව කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය. මෙම වරද සම්බන්ධයෙන් විත්තිකරුට පනවන දඬුවම පිළිබඳ තීන්දුව ලබන ජූලි මස 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙම සිද්ධිය වාර්තා වන්නේ මීට වසර දොළහකට පෙර, එනම් 2014 වර්ෂයේදීය. තලංගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම ගායන ශිල්පියාගේ නිවස ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ පරීක්ෂා කිරීම සඳහා තලංගම පොලිසියේ නිලධාරීන් පිරිසක් එහි පැමිණ ඇත. එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, ඔවුන්ට සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සැකකාර ගායන ශිල්පියා එදින අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු පසුව ඇප මත නිදහස් කෙරුණු අතර, එතැන් සිට වසර 12 ක දීර්ඝ කාලයක් පුරා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩු විභාගය අඛණ්ඩව පැවැත්විණි. දීර්ඝ වශයෙන් කරුණු විභාග කිරීමෙන් අනතුරුව, විත්තිකරු අදාළ චෝදනාවලට වැරදිකරු බවට අධිකරණය තීන්දු කළේය.
මෙම සිද්ධියට අමතරව 2016 වසරේදී අසල්වැසි වැඩිහිටි පුද්ගලයෙකුට පහරදීමේ සිදුවීමක් නිසාද මෙම ගායකයා අත්අඩංගුවට පත්ව තිබුණි. බත්තරමුල්ල පැලවත්තේ තමන් වාසය කරන ප්‍රදේශයේම අසල්වැසි වැඩිහිටි පුද්ගලයෙකුට මේ ආකාරයට පහරදීමේ සිද්ධියකින් පසු ඔහු සැඟව සිට තලංගම පොලිසියට භාරවූ අවස්ථාවේ එම දඩුවම ලැබී බන්ධනාගාර බස් රථයේ යද්දී ඔහු වෙත රූපවාහිනී කැමරා යොමුවූ විට ඔහු කියා සිටියේ
“මිනියක් මරල නෑ..කාටවත් වරදක් කරල නෑ..අම්මට අතඋස්සන්න ආවොත් ගහනවා ඒක තමයි විදිය..“ යනුවෙනි.
