ඊෂි කෑෂ් ක්‍රමය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් නීති විරෝධී වත්කම් විමර්‌ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2026 මැයි 20 වන දින අතුරුගිරිය ඔරුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මොවුන් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් වූ සැකකාරිය 32 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකි. බොරැල්ල, බේස්ලයින් මාවතේ පිහිටි සිරිසර උයන ලිපිනයේ පදිංචි මෙම යුවළ 2017 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු වල නිරත වී ඇති බවට අනාවරණය කරගෙන ඇත. එම ජාවාරම හරහා උපයා ගත් බවට සැකකෙරෙන මුදල් සැකකාරියගේ මවගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇති බව විමර්ශන වලදී වැඩිදුරටත් තහවුරු වී තිබේ.
මෙලෙස නීති විරෝධී අන්දමින් උපයාගත් මුදල් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට ප්‍රදේශයේ 08 වන පටුමගෙන් පර්චස් 6 ක ඉඩමක් සහ නිවසක් සැකකාරිය විසින් මිලදී ගෙන ඇත. 2023 වසරේ දෙසැම්බර් මාසයේදී රුපියල් ලක්ෂ 300 කට ආසන්න මුදලක් ගෙවා මෙම දේපළ මිලදී ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට අනුකූලව අදාළ නිවස සහ ඉඩම 2026 මැයි 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැක කෙරෙන බැංකු ගිණුම් 06 ක් සම්බන්ධයෙන්ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම ගිණුම් සැකකරු, සැකකාරිය සහ ඇයගේ මව යන අයගේ නම් වලින් පවත්වාගෙන ගොස් ඇත. තවද, සැකකරුගේ නමින් මිලදී ගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබඳවද අදාළ කොට්ඨාසය මගින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
