අනුරාධපුර ප්‍රදේශයේ සිදු වූ ළමා හිංසන සිද්ධියක වින්දිත දැරිය පොදු සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කරමින් ප්‍රකාශයක් සිදු කළ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 'ළමා හිංසනයට තිත' සංවිධානය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ළමා හා කාන්තා කාර්යාංශය වෙත මෙම පැමිණිල්ල යොමු කර ඇති අතර, අදාළ දේශපාලනඥයා විසින් වින්දිත දැරිය ගණිකාවක ලෙස හැඳින්වීම දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'ළමා හිංසනයට තිත' සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය ප්‍රකාශ කළේ, දිළුම් අමුණුගම මහතා විසින් සිදු කර ඇති මෙම ප්‍රකාශය හරහා අපරාධයට ගොදුරු වූ වින්දිත දැරියට සෘජු බලපෑමක් මෙන්ම දැඩි අසාධාරණයක් සිදුවන බවයි. ලංකාවේ පවතින වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙවැනි ක්‍රියාවක් බරපතළ අපරාධමය වරදක් වන බැවින්, ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් කාර්යාංශය වහාම ක්‍රියාත්මක වී නීතිය දැඩිව බලාත්මක කළ යුතු බව ඇය අවධාරණය කළාය.
අපරාධය සිදු කළ පුද්ගලයාගේ තරාතිරම නොබලා අගතියට පත් දරුවා වෙනුවෙන් පෙනී සිටීම සංවේදී මිනිස් හදවත් ඇති සමස්ත සමාජයේම පරම යුතුකම බව පෙන්වා දෙන වෛද්‍යවරිය, වත්මන් නීතිය ක්‍රියාත්මක වීමේ පවතින දුර්වලතා හේතුවෙන් සිද්ධියේ සැකකරුවකු වන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට තිබෙන බවට චෝදනා කළාය. තමන් ඇතුළු පිරිස ඓතිහාසික අටමස්ථානයට නිරන්තරයෙන් ගෞරව කරන නමුත්, මෙහිදී ප්‍රශ්න කරනු ලබන්නේ තමන් සතු බලය අනිසි ලෙස භාවිත කරන හේමරතන නැමැති පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව පමණක් බවද ඇය පැහැදිලි කළාය.
තමන් පෙනී සිටින මෙම ස්ථාවරය කිසිසේත්ම ආගමට හෝ සංඝ ශාසනයට සම්බන්ධ ගැටලුවක් නොවන බව අවධාරණය කරන විධායක අධ්‍යක්ෂවරිය, වත්මන් සමාජය මුහුණ දී ඇති සැබෑ අර්බුදය වන්නේ සැකකරුවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිවයුතු රාජ්‍ය ආයතන දක්වන උදාසීනත්වය බව පවසයි. එබැවින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිසිය විවිධ අතුරු මාර්ග ඔස්සේ කාලය නාස්ති නොකර, මෙම සිදුවීමට අදාළව කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ යුතු බවට ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.
