මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ ඊශ්‍රායල ශාඛාවේ ප්‍රධානී ඇලෝන් හයිමොවිච් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, එය එරට හමුදාව සමඟ පැවති ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයකින් පසුව සිදුවූවකි. මයික්‍රොසොෆ්ට් තාක්ෂණය භාවිත කරමින් ඊශ්‍රායල හමුදාව පලස්තීන වැසියන් විශාල වශයෙන් නිරීක්ෂණය කරන බවට 'ගාඩියන්' (The Guardian) පුවත්පත සිදුකළ අනාවරණයකින් පසුව මෙම අභ්‍යන්තර පරීක්ෂණය ආරම්භ කරන ලදී.
+972 සඟරාව සහ 'ලෝකල් කෝල්' (Local Call) පුවත්පත සමඟ එක්ව සිදුකළ එම ගවේෂණයේදී හෙළිවූයේ, ඊශ්‍රායලයේ 'යුනිට් 8200' (Unit 8200) නමැති ප්‍රභූ ඔත්තු සේවා ඒකකය විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ ඇෂුවර් (Azure) වලාකුළු තාක්ෂණය භාවිත කරමින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වැසියන්ගේ දුරකථන ඇමතුම් විශාල වශයෙන් රැස් කර ඇති බවයි.මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පවත්වන ලද මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, යුනිට් 8200 ඒකකය විසින් මහා පරිමාණ නිරීක්ෂණ කටයුතු සඳහා තාක්ෂණය භාවිත කිරීම තහනම් කරමින් පනවා තිබූ සමාගමේ සේවා කොන්දේසි උල්ලංඝනය කර ඇති බවයි. එම ඒකකය මගින් පලස්තීන වැසියන්ගේ දෛනික දුරකථන සන්නිවේදනයන් මිලියන ගණනින් පටිගත කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ඇෂුවර් පද්ධතියේ ඉහළ ගබඩා ධාරිතාවය සහ පරිගණක බලය යොදාගෙන තිබේ. මෙම සොයාගැනීම්වලින් පසුව, අදාළ හමුදා ඒකකය වෙත ලබා දී තිබූ වලාකුළු සේවා සහ කෘතිම බුද්ධි (AI) නිෂ්පාදන සඳහා වූ ප්‍රවේශය අවලංගු කිරීමට මයික්‍රොසොෆ්ට් පියවර ගෙන ඇත.
මෙම සිදුවීමත් සමඟ මයික්‍රොසොෆ්ට් ඊශ්‍රායල ශාඛාවේ තවත් කළමනාකරුවන් කිහිප දෙනෙකුද සිය තනතුරුවලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වන අතර, එය මයික්‍රොසොෆ්ට් ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය වීමට අදාළ බරපතල මතභේදයකින් පසුව සිදුවූවකි. ඇමරිකානු නීති ආයතනයක් වන 'කෝවින්ටන් සහ බර්ලින්' (Covington & Burling) ආයතනයේ නීතිඥයන් සම්බන්ධ කරගනිමින් පැවැත්වූ මෙම පරීක්ෂණයේදී ඇලෝන් හයිමොවිච් කෙරෙහි දැඩි අවධානයක් යොමුව තිබේ. ලේඛනවලට අනුව, 2021 වසරේදී මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී සත්‍ය නාඩෙල්ලා සහ හමුදා ඒකකයේ එවකට සිටි අණදෙන නිලධාරියා අතර පැවති හමුවකින් පසුව, අදාළ ඔත්තු සේවා ඒකකය සමඟ සබඳතා වර්ධනය කිරීමේදී හයිමොවිච් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.
කෙසේ වෙතත්, සත්‍ය නාඩෙල්ලා ඇතුළු මයික්‍රොසොෆ්ට් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යුනිට් 8200 ඒකකය විසින් පලස්තීන වැසියන්ගේ සන්නිවේදනයන් මෙලෙස රහසිගතව රැස් කිරීමට ඇෂුවර් පද්ධතිය භාවිත කරන බව තමන් දැන නොසිටි බවයි. සිවිල් වැසියන් නිරීක්ෂණය කිරීම සඳහා තම තාක්ෂණය ලබා නොදෙන බව සමාගමේ සභාපති බ්‍රැඩ් ස්මිත් මීට පෙර අවධාරණය කර තිබුණි. සිය ඉල්ලා අස්වීම පිළිබඳව හයිමොවිච් සෘජු අදහස් දැක්වීමක් සිදු කර නොමැති වුවද, සේවකයන් වෙත යොමු කළ පණිවිඩයක ඔහු සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය මයික්‍රොසොෆ්ට් සමාගමේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළක් ලෙස ස්ථාපිත කිරීමට තමන් සමත් වූ බවයි.
