
බරපතළ ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු කරමින් භික්ෂූන් වහන්සේ නමකට පනවා තිබූ වසර 10ක සිරදඬුවම සහ වන්දි ගෙවීමේ නියෝගය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. මෙම සිද්ධියේදී අපයෝජනයට ලක් වූ බව කියන බාලවයස්කාර දරුවාගේ සාක්ෂිවල බරපතළ පරස්පරතා පැවතීම හේතුවෙන් ඔහුගේ ප්‍රකාශ විශ්වාසදායක නොවන බව පවසමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය 2016 වසරේ මාර්තු මාසයේදී විහාරස්ථාන නේවාසික පරිශ්‍රය තුළදී 13 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනයට ලක් කළ බවට සීතාවක සොරත හිමියන්ට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් අදාළ හිමිනම වරදකරු කරමින් දඬුවම් නියම කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව සාක්ෂි දුන් දරුවාගේ ප්‍රකාශවල බරපතළ පරස්පරතා සහ වෙනස්කම් පැවැති බව පෙන්වා දුන් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මහාධිකරණයේ එම තීන්දුව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළේය. විහාරස්ථානය අසලින් ගමන් කරමින් සිටියදී තමාට ඇතුළට කැඳවූ බවට දරුවා දුන් සාක්ෂිය මත මෙම නඩුවේ මුළු පසුබිමම බොහෝ දුරට රඳා පැවතී තිබේ.
නමුත් අභියාචනා විභාගයේදී විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇත්තේ දරුවා අධිකරණයේදී දුන් සාක්ෂි සහ සිද්ධියෙන් දින කිහිපයකට පසු පොලිසියට හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට (JMO) ලබා දුන් මූලික ප්‍රකාශ අතර විශාල පරස්පරතා පවතින බවයි. සිද්ධියේ මූලික පසුබිම පවා නිවැරදිව මතක තබා ගැනීමට දරුවා අපොහොසත් වීම සමස්ත චෝදනාවල විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි සැකයක් මතු කරන බව අධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
එමෙන්ම එකම සිදුවීමක් සම්බන්ධයෙන් විවිධ කාල වකවානුවලදී එකිනෙකට පරස්පර තොරතුරු සපයන තනි සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශය මත පමණක් පදනම්ව පුද්ගලයෙකුට දඬුවම් පැමිණවීම නීත්‍යානුකූල නොවන බවට වන නීතිමය පූර්වාදර්ශය ද අධිකරණය මෙහිදී යළිත් අවධාරණය කළේය. ඒ අනුව සීතාවක සොරත හිමියන්ට පනවා තිබූ වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම සහ වන්දි නියෝගය සම්පූර්ණයෙන් අවලංගු කළ අභියාචනාධිකරණය, මෙම තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස අවිස්සාවේල්ල මහාධිකරණයට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ත්‍රාර්වරයාට නියෝග කර ඇත.
