an-fbi-team-did-not-come-to-sri-lanka-to-search-for-the-embezzlement-of-25-million-dollars

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට අයත් අරමුදල් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. FBI කණ්ඩායමක් ලංකාවට එන බව මුලින්ම පළ කර තිබුනේ ඩේලි මිරර් පුවත්පත වන අතර ඔවුන් 'senior officer told the Daily Mirror' යනුවෙන් සඳහන් කර එය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් FBI කණ්ඩායමක් ලංකාවට ආවේ නැති වුණත් තානාපති කාර්යාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් FBI නියෝජිතයින්ව සම්බන්ධීකරණය කර තිබේ.




තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ විමර්ශන සඳහා සහය දැක්වීමට එවැනි කිසිදු විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යොදවා නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්ය. කෙසේ වෙතත්, සත්කාරක රටවල බලධාරීන් ඉල්ලීම් කරන අවස්ථාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා බොහෝ රටවල අමෙරිකානු තානාපති කාර්යාල තුළ FBI නීති අනුබද්ධිත (Legal Attaché) නිලධාරියෙකු රඳවා තැබීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බව පවසන තානාපති කාර්යාලය, මෙවැනි සංවේදී ආරක්ෂක සහ විමර්ශන කටයුතු වාර්තා කිරීමේදී තොරතුරුවල නිරවද්‍යතාව අතිශයින්ම වැදගත් බව ද අවධාරණය කරයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමට පාදක වී ඇත්තේ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) නිල විද්‍යුත් තැපැල් ගිණුම්වලට අනවසරයෙන් පිවිස සිදු කර ඇති දැවැන්ත මූල්‍ය වංචාවකි. ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය මුදලකට අදාළ ගෙවීම් අතරමැදදී වෙනස් කරමින්, ඉන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ අමෙරිකානු තැපැල් බලධාරීන්ට ගෙවීමට නියමිතව තිබූ තවත් ඩොලර් 625,000ක මුදලක් හැකර්වරුන් විසින් වෙනත් ගිණුම් වෙත හරවා යවා ඇති බවට අනාවරණය වී ඇත.




විමර්ශනවලින් වැඩිදුරටත් හෙළි වී ඇති පරිදි, ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත යැවීමට සූදානම් කර තිබූ ගෙවීම් වවුචර හයකින් හතරක්ම මෙම සයිබර් අපරාධකරුවන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබේ. මෙම මුදල් හුවමාරු කිරීම සඳහා අමෙරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ලියාපදිංචි කර ඇති "Biz Solutions" නම් මාර්ගගත ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සේවා සපයන තෙවන පාර්ශ්වීය සමාගමක් භාවිත කර ඇති අතර, අවසන් ගනුදෙනු වවුචර දැඩි බැංකු නීති රීති පවතින වෙනත් අමෙරිකානු ප්‍රාන්තයක ගිණුම් වෙත සම්බන්ධ වී ඇති බව ද වාර්තා වේ.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ සිටින FBI නියෝජිතයින් අතර මෙම සිදුවීමට අදාළව තානාපති කාර්යාල පරිශ්‍රයේදීම පුළුල් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. සොරකම් කරන ලද මුදල් අවසාන වශයෙන් තැන්පත් වූ නිශ්චිත ගිණුම් පිළිබඳව මෙතෙක් අවසන් තහවුරු කරගැනීමක් සිදු කර නොමැති වුවද, අමෙරිකානු බලධාරීන් මෙම විමර්ශනය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ පූර්ණ සහයෝගය ලබා දීමට මෙන්ම, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අමෙරිකාව තුළ සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද එකඟතාව පළ කර ඇත.