the-three-young-women-who-disturbed-social-media-by-saying-no-problem-even-without-helmets-were-arrested

ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙන් තොරව යතුරුපැදියකින් ගමන් කරමින් එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරී තරුණියන් තිදෙනෙකුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට බුත්තල පොලිසිය පියවර ගෙන තිබේ. පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ දැඩි කතාබහකට ලක්වූ මෙම වීඩියෝ පටය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ පොලිස් නිලධාරීන්, ඊට සම්බන්ධ සැකකාරියන් සහ අදාළ යතුරුපැදිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.




විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ මොවුන් පසුගිය අප්‍රේල් මාසයේ දිනක බුත්තල ප්‍රදේශයේදී මෙලෙස අනතුරුදායක ලෙස යතුරුපැදිය ධාවනය කරමින් වීඩියෝ දර්ශන ලබාගෙන ඇති බවයි. හිදිකිවුල, උනාවටුන සහ කොළබෙගෙ ආර යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන මෙම තරුණියන් අතරින් යතුරුපැදිය ධාවනය කළ තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක් පවා නොමැති බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ. සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු යතුරුපැදිය පැදවූ තරුණිය සහ එම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති අතර, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට සිය වාහනය ධාවනය සඳහා ලබාදීමේ වරද යටතේ යතුරුපැදියේ හිමිකාරියට එරෙහිව ද නඩු පවරා ඇත.

අපරෙක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම, ආරක්ෂිත හිස්වැසුම් රහිතව ගමන් කිරීම සහ නියමිත මගී සංඛ්‍යාව ඉක්මවා යතුරුපැදියේ ගමන් කිරීම යන චෝදනා යටතේ ප්‍රධාන සැකකාරියට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ තරුණියන් තිදෙනා සහ යතුරුපැදිය ලබාදුන් තැනැත්තිය අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති අතර බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

the-three-young-women-who-disturbed-social-media-by-saying-no-problem-even-without-helmets-were-arrested

the-three-young-women-who-disturbed-social-media-by-saying-no-problem-even-without-helmets-were-arrested