කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසුදු කිරීමේ ටෙන්ඩරය ව්‍යාපාරිකයකුට ලබා දීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව මත, අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් මොයුනුදීන් නමැත්තා ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා නියෝග කර තිබේ.
අදාළ ටෙන්ඩරය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 30ක එකවර ගෙවීමක් සමඟ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඉල්ලා ඇති අතර, ඉන් මුල් ගෙවීම වූ ලක්ෂ 30 ලබා ගැනීමට ගිය අවස්ථාවේ බත්තරමුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ලබන 21වැනදා අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
