if-the-certificate-is-confirmed-the-marriage-cannot-be-easily-avoided---a-court-decision

යම් පුද්ගලයෙකුගේ විවාහය සනාථ කිරීම සඳහා විවාහ සහතිකයක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, එය විවාහයක් පවතින බව තහවුරු කරන මූලික සාක්ෂියක් ලෙස පිළිගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් නිසි අධිකරණ නියෝගයක් නොමැතිව එහි වලංගුභාවය පිළිබඳව තීරණය කිරීමට කිසිදු පරිපාලන නිලධාරියෙකුට නීතිමය බලයක් නොමැති බවත් අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එහිදී විනිසුරු මඬුල්ල අවධාරණය කළේ, පවතින විවාහයක් අවලංගු කිරීමේ බලය ඇත්තේ නිසි අධිකරණ බලයක් සහිත දිසා අධිකරණයකට පමණක් බැවින්, එවැනි නියෝගයක් නොමැති සෑම විටම කෙනෙකුගේ වෛවාහික තත්ත්වය සනාථ කිරීමට විවාහ සහතිකය ප්‍රමාණවත් මූලික සාක්ෂියක් වන බවයි.




මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි අශිල රණසිංහ නැමැත්තෙකු විසිනි. ඔහු විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, අනුරාධපුර අන්තර් පළාත් ඉඩම් කොමසාරිස්වරයා සහ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම්වරයා යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. තම පියාගේ අභාවයෙන් පසු, ඔහුට අයත්ව තිබූ රජයේ ඉඩම් දෙකක් සම්බන්ධයෙන් රජයේ ඉඩම් ආඥා පනත යටතේ ලබා දී ඇති බදු ගිවිසුම් තවදුරටත් දීර්ඝ කරවා ගැනීම සඳහා පෙත්සම්කරු විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබීම මෙම නඩු කටයුත්තට පදනම් වී ඇත. පෙත්සම්කරුගේ පියා විවාහයන් දෙකක් කරගෙන ඇති අතර, පෙත්සම්කරු යනු 1973 වසරේදී සිදු කළ පළමු විවාහයේ එකම දරුවා වෙයි. ඉන්පසුව පළමු විවාහයෙන් වෙන්වූ පියා, 1984 වසරේදී දෙවන වරටත් විවාහ වී එම බිරිඳ සමඟ අදාළ ඉඩම්වල පදිංචියට ගොස් තිබේ.

පසුව පියා විසින් දෙවන බිරිඳගේ නමින් රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදු ගිවිසුම් ලබාගැනීමට අයදුම් කර ඒ සඳහා රජයේ අනුමැතියද ලබාගෙන ඇත. කෙසේ වෙතත්, දෙවන බිරිඳගේ මරණයෙන් පසු පියා විසින්ම එම බදු ගිවිසුම් තම නමට ලබාගැනීමට ඉල්ලුම් කර අනුමැතිය ලබාගෙන තිබූ අතර, පසුව පියාද මියගොස් තිබේ. මේ වන විට එම ඉඩම් භුක්ති විඳිමින් නඩත්තු කරනු ලබන පළමු විවාහයේ දරුවා වන පෙත්සම්කරු, අදාළ බදු ගිවිසුම් තමාගේ නමට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් අයදුම් කර ඇත. නමුත්, වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, පියාගේ දෙවන විවාහය සිදුවන විට පළමු විවාහයෙන් දික්කසාද වී සිටියේද යන්න තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමිනි. දෙවන විවාහයේ සහතිකය ඉදිරිපත් කර තිබුණද, පෙත්සම්කරුගේ මවද මේ වන විට මියගොස් ඇති පසුබිමක, දික්කසාද වූ බවට සාක්ෂි නොමැති බැවින් දෙවන විවාහය නීත්‍යානුකූල නොවන බවට උපකල්පනය කරමින් වගඋත්තරකරුවන් විසින් පියාට ලබා දී තිබූ බදු ගිවිසුම් අවසරය අවලංගු කිරීමට පියවර ගෙන තිබුණි.




මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විසින් 'හඩ්සන් සමරසිංහ එදිරිව තිලකා වාදසිංහ' (SC Appeal No 22/2020) නඩුවේදී ලබාදුන් තීන්දුවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ, විවාහ සහතිකයකින් සනාථ වන විවාහයක් අවලංගු කළ හැක්කේ හෝ විසුරුවා හැරිය හැක්කේ නිසි අධිකරණයකින් ලබාදෙන විවාහ ශූන්‍යතා තීන්දුවකින් හෝ නියෝගයකින් පමණක් බවයි. එසේම, අධිකරණ නියෝගයක් නොමැතිව යම් විවාහයක දික්කසාදයක් පැවතියේද නැද්ද යන්න උපකල්පනය කිරීමට කිසිදු පරිපාලන අධිකාරියකට නීතිමය බලයක් නොමැති බවද විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව, පියාගේ බදු ගිවිසුම් අවසරය අවලංගු කරමින් වගඋත්තරකරුවන් ගත් තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කරන ලදී. තවද, ස්වභාවික යුක්ති මූලධර්මවලට අනුකූලව පෙත්සම්කරුගේ ඉල්ලීම සලකා බලන ලෙසත්, පියාගේ විවාහයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව වක්‍රාකාරයෙන් හෝ තීරණ ගැනීමෙන් වළකින ලෙසත් අභියාචනාධිකරණය මෙහිදී වගඋත්තරකරුවන්ට විශේෂයෙන් නියෝග කෙරිණි. මෙම නඩු කටයුත්තේදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශෙහාන් චාමික සිල්වා, නීතිඥ රද්‍ය හේරත්, නීතිඥ අමා ජයවීර යන මහත්ම මහත්මීන් සමඟ ඉන්දිකා හෙට්ටිආරච්චි ලෝ ඇසෝසියේට්ස් පෙනී සිටියහ.