sudden-growth-of-dengue-and-malaria-with-rainy-conditions

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතන තත්ත්වයත් සමග ඩෙංගු, බරවා සහ මැලේරියාව වැනි මදුරුවන්ගෙන් බෝවන රෝගවල ශීඝ්‍ර වර්ධනයක් සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වැනිදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කළේ, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 27,754 ක් සහ මරණ 14 ක් වාර්තා වී ඇති බවයි.




මෙම ඩෙංගු රෝගීන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා වන අතර, සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයකි. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟම රෝගය ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු ව්‍යාප්තියේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව ද වෛද්‍යවරිය එහිදී පෙන්වා දුන්නාය.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ, නිවාසවලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් මෙන්ම රජයේ සහ පෞද්ගලික ආයතන පරිශ්‍ර තුළ මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබීමයි. තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය සහ සමේ රතු ලප මතුවීම වැනි රෝග ලක්ෂණ පවතී නම් ප්‍රමාද නොවී වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු බවත්, ජනතාව තම අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන සොයාබලා විනාශ කර දැමීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් පාලනය කරගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.




එම මාධ්‍ය හමුවට එක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා සඳහන් කළේ, 2016 වසරේදී ශ්‍රී ලංකාව මහජන පීඩාවක් නොවන අයුරින් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගෙන ඇති නමුත්, එයින් රට තුළ රෝගය සම්පූර්ණයෙන්ම නොමැති බවක් අදහස් නොවන බවයි. රෝගය ඉතා අවම මට්ටමක පවතින අතර අඛණ්ඩව ක්‍රියාත්මක වන ආවේක්ෂණ ක්‍රියාවලි හරහා තවමත් රෝගීන් සුළු වශයෙන් වාර්තා වේ. පසුගිය 2025 වර්ෂය තුළ පමණක් දේශීය රෝගීන් 34ක් සහ මෙරටට පැමිණ සේවය කරන විදෙස් ශ්‍රමිකයන් 34ක් වශයෙන් සමස්ත බරවා රෝගීන් 68 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඩෙංගු සහ මැලේරියාව මෙන් නොව බරවා රෝගය දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා නොවන අතර, එය ව්‍යාප්ත වී ඇත්තේ හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පමණි. නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් බරවා රෝගය මුළුමනින්ම සුව කරගත හැකි බව පැවසූ අධ්‍යක්ෂවරයා, අවට පරිසරය සහ ජල මූලාශ්‍ර පිරිසිදුව තබා ගැනීමෙන් රෝග වාහක මදුරුවන් පාලනය කරගත හැකි බවද පැහැදිලි කළේය.



මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අරුන් කුමාර මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව 2016 වසරේ සිට මැලේරියාව තුරන් කළ රටක් ලෙස සැලකුණද, විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හරහා නැවත වරක් රෝගය රට තුළට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවයි. එබැවින් විදෙස් රටක සිට මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු ඊට අදාළ මැලේරියා පරීක්ෂණය සිදුකර ගැනීමට කටයුතු කරන මෙන් වෛද්‍යවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.