
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෘදුකාංග පරිපාලකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්දුජිත් බුද්ධදාස මහතා ඊයේ (14) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඉන්දික හේරත් නමැති සැකකරු සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.
සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ පොදු දේපළ පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරුට එරෙහිව කරුණු වාර්තා වී ඇත. රජයේ වගකිවයුතු තනතුරක් දරමින් සිටියදී සිදුකර ඇති මෙම වැරදි සම්බන්ධයෙන් පොලිසිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.
පාතාල සාමාජිකයන් සහ විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලබයි. එවැනි නීතිවිරෝධී කටයුතු සඳහා සෘජුවම අනුබල දීම සහ සහාය වීම සම්බන්ධයෙන් මෙම මෘදුකාංග පරිපාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.
