an-explanation-about-sampath-bank-kandy-branch

සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදිය ශාඛාව සහ එහි නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් බැංකු කළමනාකාරීත්වය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සමාජ මාධ්‍ය සටහන් මගින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන සම්පත් බැංකුව, තම ආයතනයේ කිසිදු නිලධාරියෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බව අවධාරණය කර සිටියි. අදාළ සමාජ මාධ්‍ය ප්‍රචාරයන් සඳහා පාදක වී ඇති පාරිභෝගික පැමිණිල්ල, එක්තරා ගනුදෙනුකරුවෙකු විසින් බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් මිලියන 51 කට ආසන්න ණය පහසුකම් සම්බන්ධයෙන් පැන නැගුණකි. මේ වන විට එම ගැටලුව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, බැංකුව සහ එහි නිලධාරීන් අදාළ කටයුතු සඳහා බලධාරීන් වෙත සිය පූර්ණ සහයෝගය ලබා දෙමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැත. එබැවින් සමාජ මාධ්‍ය වාර්තා හරහා බැංකුවට සහ එහි නිලධාරීන්ට එල්ල කර ඇති සියලුම චෝදනා සහ අනිසි අර්ථකථන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සම්පත් බැංකුව තහවුරු කර ඇත.

an-explanation-about-sampath-bank-kandy-branch