comments-made-by-minister-ananda-and-sajba-mp-sujith-about-kapilas-death

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කළ හැක්කේ දැනට සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබීමෙන් පසුව පමණක් බව ඔහු අවධාරණය කරයි. මෙම සිද්ධියට අදාළව පොලීසිය විසින් දැනටමත් සියලු අංශ ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ විද්‍යාත්මක නිගමනයන් මත මරණයට හේතුව ඉදිරියේදී පැහැදිලි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක ඔහුව කඩිනමින් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ පොලීසිය ඒ පිළිබඳව දැනුවත් වී ඇත්තේ ඊයේ පස්වරුවේ බැවින් අද උදෑසන කාලයේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සැළසුම් කර තිබෙන්නට ඇති බවයි. මීට පෙරද පොලිස් අත්අඩංගුවේ පසුවී අධිකරණ නියෝග මත නිදහස ලබා සිටි අයෙකු සම්බන්ධයෙන් රාත්‍රී කාලයේදී මෙවැනි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පොලීසිය අපේක්ෂා නොකරන්නට ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මේ පිළිබඳ වැඩිදුර කරුණු පොලිස්පතිවරයාගෙන් විමසිය හැකි වුවද පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වනතුරු ස්ථිර මතයක් ප්‍රකාශ කළ නොහැකි බව යළිත් සිහිපත් කළේය.

මේ අතර මියගිය කපිල චන්ද්‍රසේන මහතා යනු ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩු විභාගයේ සිටි තීරණාත්මකම සහ ප්‍රධානතම සාක්ෂිකරුවා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය. හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා අභිරහස් ලෙස මියගොස් ඇති බවත් එම මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති වීම බරපතළ ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.




මෙම මරණය ස්වයංව සිදු කරගත් සියදිවි නසා ගැනීමක් ද නැතහොත් කිසියම් පාර්ශවයක පෙළඹවීමක් මත සිදු වූවක් ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විටත් දැඩි සැකයක් සහ කතිකාවක් නිර්මාණය වී ඇති බව සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. ප්‍රධාන පෙළේ වංචා දූෂණ නඩු විභාගයක වැදගත් සාක්ෂිකරුවෙකු මෙලෙස සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.