the-injustice-done-to-the-girl-who-was-called-to-the-chamber-every-3-days

ශුද්ධ වූ සිවුරේ මුවාවෙන් අහිංසකත්වයේ ගෙල සිරකළ අමානුෂික අපරාධයක අඳුරු සෙවණැලි මේ දිනවල සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම හෘද සාක්ෂිය දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටී.




ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ බඳු වූ අටමස්ථානයේ ප්‍රධාන භාරකාරත්වය දැරූ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් එකොළොස් හැවිරිදි කුඩා දැරියක දීර්ඝකාලීනව දූෂණය කිරීමේ සිදුවීම හුදෙක් එක් හුදකලා අපරාධයක් පමණක් නොවේ. එය දේශපාලනික බලය සහ ආයතනික යාන්ත්‍රණය විසින් යුක්තිය වසන් කිරීමට ගත් බිහිසුණු උත්සාහයක කනගාටුදායක ප්‍රතිඵලයක් බව මේ වන විට තහවුරු වී හමාරය.

මේ අවාසනාවන්ත දැරියට සෑම දින තුනකට වරක්ම විහාරස්ථානයේ අඳුරු කුටි තුළදී මුහුණ දීමට සිදු වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කුරිරු වධහිංසාවකට බව අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා මහතාගේ වාර්තා මගින් සනාථ කර තිබේ. තමන්ට අත්වූ ඉරණම ගැන කිසිවෙකුට හෝ කීමට නොහැකි තරමටම ඇය භීතියට පත්ව සිටි අතර, තම ලේ තැවරුණු යට ඇඳුම් මහපොළොව යට සඟවන්නට තරම් ඒ කුඩා සිත අසරණ වී තිබිණි. අපරාධකරු විසින් තමා කළ පව් සෝදා හැරීමට යොදාගත් රෙදි කැබැල්ලකින් පවා ජෛව විද්‍යාත්මක සාක්ෂි මතු කරගැනීමට අපරාධ පරීක්ෂකයන් සමත් වුවද, තම කුසින් වැදූ මව විසින්ම රුපියල් ලක්ෂයක මුදලකට මේ මල් කැකුළ බිලිදීම සමස්ත සමාජයටම එල්ල කළ දැඩි නිගාවකි.




මෙම ඛේදවාචකය හමුවේ මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන හැසිරුණු ආකාරය ඊටත් වඩා විමතිය දනවන්නකි. සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් වී තිබියදීත්, එය ක්‍රියාත්මක කිරීම දින දාහතක් පුරා හිතාමතාම ප්‍රමාද කෙරුණු අතර, ඒ කාලය තුළ සැකකරුට අභිමතය පරිදි හැසිරීමට ඉඩ සලසා දී තිබුණි. අනතුරුව බොරු ලෙඩක් මවාපාමින් කොළඹ සුඛෝපභෝගී පෞද්ගලික රෝහලක සැඟවීමට ඔහු උත්සාහ කළද, රජයේ විශේෂඥ වෛද්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් එම රංගනය පුස්සක් බවට පත් කළේය. අවසානයේදී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් සහ විදෙස් ගමන් තහනමක් මත සැකකරුට ඇප ලබා දීමට තීරණය කෙරිණි.

සමාජයේ කොන් වූවන් සහ කාන්තාවන් වෙනුවෙන් මහා හඬින් කෑගසන ස්ත්‍රීවාදී සංවිධාන සහ කාන්තා දේශපාලනඥයන් මේ සාහසික අපරාධය ඉදිරියේ මුනිවත රැකීම මෙහි ඇති විශාලතම ඛේදවාචකයයි. නීතිපති දෙපාර්තමේන්තුව පවා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී නොසිටි පසුබිමක, මිල මුදල්, බලය සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ තර්ක විතර්ක මැද මේ අසරණ දැරියට යුක්තිය අහිමි වීමේ දැඩි අවදානමක් මතු වී තිබුණි.



එහෙත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂිකාවගේ මගපෙන්වීම යටතේ, කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ අසිත සිරිවර්ධන ඇතුළු පිරිමි නීතිඥවරුන් කණ්ඩායමක් මේ අයුක්තියට එරෙහිව දැවැන්ත පවුරක් සේ නැගී සිටියහ. පද්ධතියක් මුළුමනින්ම අක්‍රිය වී ගඳ ගසන විට, යුක්තියේ සුවඳ හමන මල් පිපෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ තැන්වලින් බව ඔවුහු මුළු ලොවටම පෙන්වා දුන්හ.