
මිලදී ගැනීමට නිවසක් සොයන මුවාවෙන් පැමිණි සංවිධානාත්මක කල්ලියක් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික රියදුරු සහායකයෙකු සහ ඔහුගේ බිරිඳ සිහිසුන් කර, රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා පළායෑමේ පුවතක් දෙමටගොඩ පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වේ. මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ පදිංචි මෙම අඹුසැමි යුවළ සන්තකයේ තිබූ පිරිමි රන් මුදුවක්, කාන්තා රන් මුදු තුනක් සහ කරාබු යුගලක් මෙලෙස සොරකම් කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් විසින් යම් කිසි රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය කරවීමෙන් මෙම යුවළ සිහිසුන් තත්ත්වයට පත් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, මෙම කොල්ලකෑම සැලසුම්සහගතව සිදුකර ඇත්තේ සල්වාරි ඇඳුමකින් සැරසුණු කාන්තාවක ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කල්ලියකි. මීට සති දෙකකට පමණ ඉහතදී වයස අවුරුදු 40ක පමණ පෙනුමැති මෙම කාන්තාව අදාළ නිවසට පැමිණ ඇත්තේ ඉහළ මහලක ඇති නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමිනි. එහිදී ඇය පානය කිරීමට ජලය ඉල්ලා ඇති අතර, නිවැසියන් සමඟ ඉතා සුහදව කතාබස් කර විශ්වාසය දිනාගෙන පසුව එතැනින් පිටව ගොස් තිබේ.
ඉන් අනතුරුව පසුගිය 24 වැනිදා මෙම කාන්තාව නැවත වරක් එම නිවසට පැමිණ ඇත්තේ තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන නිවසේ හිමිකරු සහ තැරැව්කරු (බ්‍රෝකර්වරයා) එහි පැමිණෙන තෙක් රැඳී සිටීමට අවසර ඉල්ලමිනි. නිවැසියන්ගේ අවසරය මත ඇය නිවස තුළට වී විනාඩි දහයක් පමණ කතා කරමින් සිටින අතරතුර, ඇයගේ සැමියා ලෙස හඳුන්වා දුන් තවත් පුද්ගලයෙකුද එම ස්ථානයට පැමිණ තිබේ. ඔවුන් දෙදෙනාම අනෙක් පිරිස පැමිණෙන තෙක් එම නිවසේ රැඳී සිට ඇත.
මඳ වේලාවකින් තැරැව්කරු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් තරුණයෙකු එම නිවසට ඇතුළු වී ඇති අතර, ඉන් එක් අයෙකු අසුන්ගෙන තිබේ. අනෙක් තරුණයා නිවසේ දොර අසල රැඳී සිටිමින් නිවැසියන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ තැරැව්කරු ලෙස රඟපෑ පුද්ගලයා එක්වරම විශ්‍රාමික රියදුරු සහායකයාගේ කට තද කර ඇති අතර, ඔහු ඉන් මිදීමට උත්සාහ කරද්දී දොර අසල සිටි තරුණයා තම බෑගයෙන් සුදු පැහැති පුළුන් ගුලියක් ගෙන ඔහුගේ නාසයට අල්ලා තිබේ.
එම ද්‍රව්‍යය ආඝ්‍රාණය වීමත් සමඟ විශ්‍රාමික රියදුරු සහායකයාට ක්ලාන්ත ගතියක් ඇති වී බිම වැටී ඇති අතර, සැකකරුවන් වහාම ඔහුගේ දකුණු අතේ වෙදැඟිල්ලේ තිබූ රන් මුදුව ගලවාගෙන ඇත. බිම වැටී සිටි පැමිණිලිකරුට නැගිටීමට නොහැකි වුවද, සැකකරුවන් සිදු කරන දෑ පිළිබඳව යම් සිහියකින් යුතුව බලා සිටීමට හැකි වූ බව පොලිසියට ප්‍රකාශ කර තිබේ.
ඒ සමඟම කුස්සියේ දිවා ආහාරය පිළියෙල කරමින් සිටි ඔහුගේ බිරිඳ වෙත ගිය කොල්ලකරුවන්, ඇයගේ නාසයටද එම සුදු පැහැති පුළුන් ගුලිය අල්ලා සිහිසුන් කර ඇත. ඇය බිම ඇද වැටුණු පසු කන්වල තිබූ කරාබු යුගල සහ අතේ පැලඳ සිටි රන් මුදු තුන වහාම කොල්ලකා තිබේ. අනතුරුව සිහිසුන් වූ බිරිඳ සහ අප්‍රාණිකව සිටි සැමියා නිවස තුළ දමා, ඉදිරිපස දොර වසා කොල්ලකරුවන් වහාම පළා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. මෙම උපක්‍රමශීලී සොරකම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
