
එක්සත් රාජධානියේදී ඝාතනයට ලක්වූ 24 හැවිරිදි ඉන්දීය ජාතික හර්ෂිතා බ්‍රෙල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට බ්‍රිතාන්‍ය පොලිසියට දැඩි චෝදනා එල්ල වී තිබේ. ඇයගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ පොලිසිය විසින් ඇයට එක්සත් රාජධානියේ රැඳී සිටින ලෙස ලබාදුන් උපදෙස හේතුවෙන් ඇයට සිය ජීවිතය අහිමි වූ බවයි.
ඇයගේ නීතිමය ගැටලුව ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් රටින් පිට නොවන ලෙස පොලිසිය ලබා දුන් උපදෙස නොපිළිපැද, ඇය නැවත ඉන්දියාවට පැමිණියා නම් අදටත් ජීවතුන් අතර සිටීමට ඉඩ තිබූ බව ඔවුහු දැඩි සේ විශ්වාස කරති.මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන්නේ ඇයගේ 23 හැවිරිදි සැමියා වන පන්කජ් ලම්බා ය. ශිෂ්‍ය වීසා මත බ්‍රිතාන්‍යයට පැමිණ අර්ධ කාලීන ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ ඔහු, මේ වන විට ඝාතනයෙන් පසු ඉන්දියාවට පලාගොස් ඇති බවට විශ්වාස කෙරේ. 2024 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාවේදී විවාහ වී බ්‍රිතාන්‍යයට පැමිණි හර්ෂිතා, සිය සැමියාගෙන් එල්ල වූ ගෘහස්ථ හිංසනයන් සම්බන්ධයෙන් අගෝස්තු 29 වැනිදා නෝර්ත්හැම්ප්ටන්ෂයර් (Northamptonshire) පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව සැප්තැම්බර් 3 වැනිදා ලම්බා අත්අඩංගුවට ගෙන පසුව ඇය හා සම්බන්ධ නොවන ලෙස කොන්දේසි පනවා ඇප මත මුදා හැර ඇත.
පොලිස් මැදිහත්වීමෙන් පසු හර්ෂිතා කාන්තා රැකවරණ මධ්‍යස්ථානයක රඳවා සිටි අතර, ඒ වන විට ඇය දැඩි මානසික බිඳවැටීමකට ලක්ව සිටි බව ඉන්දියාවේ දිල්ලි නුවරට ආසන්නව වාසය කරන ඇයගේ පියා වන සත්බීර් සිං බ්‍රෙල්ලා පවසයි. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ඉන්දියාවට පැමිණෙන ලෙස පවුලේ අය ඇයට දිගින් දිගටම පෙරැත්ත කර තිබේ. එහෙත් නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් ඇයට මෙන්ම සැමියාට ද රටින් පිටවිය නොහැකි බවට පොලිසිය ඇයට දැනුම් දී ඇති බව ඇය සිය පවුලේ අයට පවසා ඇත. ඇයගේ සහෝදරිය වන සෝනියා දබාස් පෙන්වා දෙන්නේ පොලිසිය ලබා දුන් මෙම වැරදි උපදෙස නොවන්නට තම නැගණියට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත් නොවන බවත්, සැමියාට කිසිදු බාධාවකින් තොරව රටින් පලා යාමට හැකිවීම කණගාටුවට කරුණක් බවත්ය.
පසුගිය නොවැම්බර් 10 වැනිදා කෝර්බි (Corby) ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේදී හර්ෂිතා ගෙල සිරකර ඝාතනය කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, ඉන් දින හතරකට පසු නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඩ් (Ilford) හි නවතා තිබූ මෝටර් රථයක ඩිකියේ තිබී ඇයගේ මළ සිරුර සොයා ගැනුණි. මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව මේ වන විට නෝර්ත්හැම්ප්ටන්ෂයර් පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව දැඩි විනය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් හැසිරීම් පිළිබඳ ස්වාධීන කාර්යාලය (IOPC) විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව, රහස් පරීක්ෂක කොස්තාපල්වරුන් දෙදෙනෙකු, සැරයන්වරයෙකු සහ ප්‍රධාන පරීක්ෂකවරයෙකු මෙලෙස වෘත්තීය ප්‍රමිතීන් කඩ කර ඇති බවට නිගමනය කර ඇත
