a-recent-study-says-that-taking-vitamin-d-tablets-is-not-beneficial-for-fractures-in-the-elderly

වැඩිහිටියන්ගේ අස්ථි බිඳීම් සහ ඇදවැටීම් වළක්වා ගැනීම සඳහා විටමින් D අතිරේක පෙති ලබා ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව නවතම විද්‍යාත්මක සමාලෝචනයකින් අනාවරණය වී තිබේ. සරත් සහ ශීත සෘතුවලදී නිරෝගී අස්ථි පවත්වා ගැනීම සඳහා විටමින් D අතිරේක ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) විසින් නිර්දේශ කර තිබුණද, බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ (British Medical Journal) පළ වූ මෙම නවතම පර්යේෂණ දත්ත මගින් එම මතය දැඩි ලෙස අභියෝගයට ලක් කර ඇත.




සායනික පරීක්ෂණ 69ක් ඇසුරින් පුද්ගලයන් 153,902 දෙනෙකු යොදාගනිමින් මෙම පුළුල් සමාලෝචනය සිදුකර තිබේ. කැනේඩියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව, විටමින් D හෝ කැල්සියම් අතිරේක භාවිතය මගින් අස්ථි බිඳීමේ අවදානම කෙරෙහි ඇති කරන බලපෑම ඉතා අල්ප බව හෝ කිසිදු බලපෑමක් නොමැති බව තහවුරු වී ඇත. ඒ අනුව, අස්ථි බිඳීම් සහ ඇදවැටීම් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දෛනිකව විටමින් D ලබා ගැනීමේ සාමාන්‍ය පුරුද්ද තවදුරටත් අනුමත කළ නොහැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

කැනඩාවේ ක්විබෙක් (Quebec) හි පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි, වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 30%ක් පමණ ද, වැඩිහිටි නිවාසවල ජීවත් වන අයගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ද අවම වශයෙන් වසරකට වරක් හෝ ඇදවැටීම්වලට ලක් වෙති. මෙයින් 5%ක් පමණ අස්ථි බිඳීම්වලින් කෙළවර වන අතර, ඒ හේතුවෙන් රෝහල් ගත වීමට සිදුවීම බොහෝ දෙනෙකුගේ ශාරීරික ක්‍රියාකාරීත්වය පිරිහීමට දැඩි ලෙස බලපායි. මෙම සංකීර්ණ ගැටලුව සඳහා සාපේක්ෂව පහසු සහ ලාභදායී විසඳුමක් ලෙස කැල්සියම් සහ විටමින් D ලබා දීම අතීතයේදී බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබුණි.




කැනඩාවේ මොන්ට්‍රියෙල් (Montreal) හි ඖෂධවේදය පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම මෙම පර්යේෂණයට දායක වූ ඔලිවියර් මාසේ (Olivier Massé) ප්‍රකාශ කරන්නේ, මෙම අතිරේක මගින් ඇදවැටීම් හෝ අස්ථි බිඳීම් වළක්වා ගත නොහැකි බව ඔවුනගේ සොයාගැනීම්වලින් මනාව තහවුරු වන බවයි. එබැවින් හුදෙක් අතිරේක ලබා දීම වෙනුවට, ප්‍රතිඵලදායක බව තහවුරු කරන ලද වෙනත් ප්‍රායෝගික මැදිහත්වීම් සඳහා කාලය සහ ප්‍රතිපාදන යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් වන්නේ, මාංශ පේශි සහ අස්ථිවල සෞඛ්‍යය නංවාලීම සඳහා ප්‍රතිරෝධී පුහුණුවීම් (resistance training) වැනි ව්‍යායාමවල නිරත වීම සහ නිවෙස් තුළ ඇති විය හැකි අනතුරුදායක තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම මගින් වැඩිහිටියන්ගේ ඇදවැටීම් වළක්වා ගත හැකි බවයි. කෘත්‍රිම අතිරේක වෙනුවට තෙල් සහිත මාළු, රතු මස් සහ බිත්තර මගින් ශරීරයට අවශ්‍ය විටමින් D ද, කිරි ආහාර සහ කොළ පැහැති පලා වර්ග හරහා අවශ්‍ය කැල්සියම් ද ස්වභාවිකව සපයා ගත හැකි බව මෙම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



(telegraph -uk පුවත්පත ඇසුරිනිි)