ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා අතර, ඉන් රෝගීන් 2,000ක් පමණ රුධිරගත පිළිකාවලින් පෙළෙන බව මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පවසයි. තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැති ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම්වලින් සුවය ලැබූවන්ගේ එකමුතුව විසින් සංවිධානය කරන ලද විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
රුධිරගත පිළිකා රෝගීන් සඳහා සිදුකරනු ලබන ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම් ඉතා සාර්ථක වුවද, ඉන් අනතුරුව වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට අපොහොසත් වුවහොත් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය හැකි බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.රට තුළ පවතින බරපතළම ගැටලුවක් වන්නේ රුධිරගත පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සමස්ත ලංකාවටම සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු පමණක් වීම බව පෙන්වා දෙන වෛද්‍ය සෝමවර්ධන මහතා, ඉන් තිදෙනෙකුම සේවය කරන්නේ මහරගම අපේක්ෂා රෝහලේ බවද සඳහන් කළේය. මෙරට සිටි තවත් විශේෂඥ වෛද්‍යවරුන් හත් අට දෙනෙකුම දැනට ලංකාවෙන් බැහැරව විදේශගතව සේවය කරන බවද ඔහු මෙහිදී හෙළි කළේය. මෙම වෛද්‍ය හිඟය හේතුවෙන් රෝගීන්ට සේවා සැපයීමේදී වෛද්‍යවරුන්ට විවිධ සීමාවන්ට මුහුණ දීමට සිදුව ඇත.
ඇටමිදුලු බද්ධ කිරීම වැනි සංකීර්ණ ප්‍රතිකාර ක්‍රම සඳහා අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර, සෑම රෝගියෙකුටම සමාන අයුරින් ප්‍රතිකාර ලබාගැනීමේ අයිතියක් තිබුණද වත්මන් තත්ත්වය හමුවේ ධනවත් සහ දුප්පත් භේදය මත ප්‍රතිකාර ලබාගැනීමේදී අසමානතාවක් නිර්මාණය වී ඇතැයි ඒ මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රජය මගින් බොහෝ ප්‍රතිකාර නොමිලේ ලබාදුන්නද, මෙවැනි අධික පිරිවැයක් සහිත සියලුම ප්‍රතිකාර අඛණ්ඩව නොමිලේ සැපයිය හැකිද යන්න ගැටලුසහගතය. ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර සහ ඖෂධ වර්ග මෙරට තුළ හිඟවීම හේතුවෙන් පිළිකා රෝගීන්ට උපරිම ප්‍රතිකාර ලබාදීම සීමා වී තිබේ.
ලියුකේමියා වැනි සංකීර්ණ රෝගී තත්ත්වයන්ට යම් මට්ටමකට ප්‍රතිකාර කිරීමේ හැකියාව පැවතියද, ඊට අදාළ ඇතැම් නවීන ප්‍රතිකාර ක්‍රම තවමත් ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බවත්, කෙසේ වෙතත් රජයේ සහ පෞද්ගලික රෝහල් කිහිපයක මේ වන විට යම් ප්‍රමාණයක ඇටමිදුලු බද්ධ කිරීම් සාර්ථකව සිදුකෙරෙන බවත් මෙහිදී ප්‍රකාශ විය. රුධිරවේදය සහ අස්ථි ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳ ඉන්දීය විශේෂඥ වෛද්‍ය ආචාර්ය මල්ලිකාර්ජුන් කලාෂෙට්ටි මහතා මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වූ අතර විශේෂඥ වෛද්‍ය නිලුපුලී ගුණරත්න මහත්මිය ඇතුළු මෙරට වෛද්‍යවරුන් රැසක්ද මෙහිදී අදහස් දැක්වූහ.
