an-employee-brought-the-belt---it-is-doubtful-whether-kapila-had-planned-it-before-committing-suicide
වර්තමාන රජය සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ගේ අභිරහස් මරණ පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයද දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ඒ මහතා, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය වංචා විමර්ශනවල ප්‍රධාන චූදිතයෙකු මෙන්ම තීරණාත්මක සාක්ෂිකරුවෙකු ද විය.

වර්ෂ 2013 දී එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, පසුගිය 05 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී. එහෙත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන් දෙදෙනා මුදලට ලබාගත් අය බවටත්, ඒ හරහා ඇප කොන්දේසි උල්ලංඝනය වී ඇති බැවින් නඩුව අවසන් වන තෙක් ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව, පසුගිය 07 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු යළි අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කරනු ලැබූ අතර, මෙම තත්ත්වය හමුවේ චන්ද්‍රසේන මහතා දැඩි මානසික පීඩනයකින් පසුවී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.




යළි වරෙන්තු නිකුත් කළ දිනයේ එනම්, 07 වැනිදා පස්වරු 3.00ට පමණ කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසින් ත්‍රිරෝද රථයකින් පිටව ගොස් ඇති ඔහු, කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි සිය බිරිඳගේ සහෝදරිය සහ ඇගේ ස්වාමිපුරුෂයා වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් සුඛෝපභෝගී නිවස වෙත ගොස් තිබේ. ඊට පෙර, තමන් පැමිණෙන බැවින් තම ඇඳුම් සහ කෑම සූදානම් කර තබන ලෙස ඔහු බාන්ස් පෙදෙස නිවසේ සේවිකාවකට දුරකථනයෙන් දැනුම් දී ඇති බවද පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මීට අමතරව, සියදිවි හානිකර ගැනීම සඳහා කලින් සැලසුම් කර තිබූ බවට සැකකෙරෙන ප්‍රබල සාක්ෂියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඒ අනුව, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි තිබී හමු වූ ව්‍යායාම සඳහා භාවිත කරන පටිය, එදින පස්වරුවේ බාන්ස් පෙදෙස නිවසේ සිට සේවකයෙකු මාර්ගයෙන් කොල්ලුපිටියේ නිවසට ගෙන්වාගෙන ඇති බව තහවුරු වී ඇත. චන්ද්‍රසේන මහතා නිතර ව්‍යායාම සඳහා යොමුවන බැවින් එම පටිය රැගෙන එන ලෙස කළ ඉල්ලීම පිළිබඳව තමන්ට කිසිදු සැකයක් මතු නොවූ බව අදාළ සේවකයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

එදින රාත්‍රිය කොල්ලුපිටියේ නිවසේ ගතකර ඇති චන්ද්‍රසේන මහතා සාමාන්‍ය පරිදි ආහාරපාන ගෙන කාමරයට ගොස් ඇති අතර, ඒ අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ ද නිවසේ රැඳී සිට ඇත. පසුදින උදෑසන නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවීමට ඔහු සැලසුම් කර තිබූ නමුත්, උදෑසන දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් කනිෂ්ඨ නීතිඥවරයෙකු අදාළ නිවසට යවා තිබේ. එහිදී නිවැසියන් විසින් අමතර යතුරක් භාවිත කර කාමරයේ දොර විවෘත කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත.


මරණය සිදුවූ දින උදෑසන ඔහු විසින් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සිය බිරිඳට සහ දරුවන් දෙදෙනාට දුරකථන ඇමතුම් තුනක් ලබාදී ඇති බවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබේ.

ස්ථානීය පරීක්ෂාව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ අතර, මරණය පිළිබඳ මූලික විමර්ශන කොල්ලුපිටිය පොලිසිය විසින් සිදුකිරීමෙන් පසු කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි මළ සිරුර චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ සහෝදරියට භාරදීමට නියම වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මඬුල්ලක් විසින් සිදුකරන ලදී. පැය හයක පමණ කාලයක් පුරා සිදුකළ මෙම පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද සහභාගී වී ඇත.

මෙම මරණය ගෙල වැළලාගැනීමකින් ද, නැතහොත් කිසියම් විෂක් ශරීරගත වීමෙන් සිදුවූවක් ද යන්න නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා රුධිරය, මුත්‍රා, පටක, අවයව හා නියපොතු ඇතුළු සිරුරේ කොටස් පසුගිය 09 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත රසායනාගාර විශ්ලේෂණ සඳහා යොමුකර තිබේ. විවිධ පාර්ශ්වයන් මෙම මරණය සම්බන්ධයෙන් සැක මතුකරන පසුබිමක, නඩු භාණ්ඩ ඇතුළු අනෙකුත් සාක්ෂි පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරි රසායනාගාර වාර්තා මගින් මරණයට නිශ්චිත හේතුව තහවුරු වනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.