a-boulder-falls-on-a-house-in-ella---03-to-hospital

ඇදහැලුණු දැඩි වර්ෂාපතනයත් සමඟ ඇල්ල, බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේ නිවසක් මතට මීටර් 900ක පමණ ඉහළ කන්දක සිට දැවැන්ත ගල් පර්වත කිහිපයක් පෙරළී ඒමෙන් අදාළ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මෙම හදිසි අනතුර හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව ප්‍රදේශයේ වාර්තාකරුවන් සඳහන් කරයි.




සිද්ධිය වන අවස්ථාවේදී අදාළ නිවසේ ඇඳක් මත නිදාගෙන සිටි අඹුසැමි යුවළකට ගල් පර්වත කඩා වැටීමෙන් බරපතළ තුවාල සිදුවී ඇත. අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔවුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ. ඊට අමතරව, මෙම අනතුර සිදුවූ ස්ථානය අසල නිවසක සිටි තවත් පුද්ගලයෙකු ද සිද්ධියෙන් ඇති වූ දැඩි කම්පන තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

මෙම ආපදාවට ලක්වූ ප්‍රදේශය භූගෝලීය වශයෙන් ඉතා දුෂ්කර පරිසරයක පිහිටා තිබෙන බව වාර්තා වේ. අනතුරින් සිදුව ඇති දේපළ හානිය නිරීක්ෂණය කිරීම සඳහාත් විපතට පත්වූවන්ට රජය පාර්ශ්වයෙන් ලබාදිය යුතු සහන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහාත් අදාළ බලධාරීන් මේ වන විට එම ස්ථානයට පැමිණ ඇත. ඒ අනුව, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද මහතා, කොට්ඨාසය භාර දේශපාලන නියෝජිතයින් මෙන්ම ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

a-boulder-falls-on-a-house-in-ella---03-to-hospital