
චීන ජාතිකයන් දහනව දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර මුල් කරගනිමින් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ වී ඇතැයි කියන කප්පම් ගැනීමේ සිද්ධියට අදාළව, අතරමැදියකු ලෙස ක්‍රියා කළ බවට සැක කෙරෙන ප්‍රධාන කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වන විට පරීක්ෂණ පුළුල් කර තිබේ.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති නමුත්, අදාළ කාන්තාව තවමත් පොලිසිය මඟහැර සිටින බව ශ්‍රී ලංකා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේය. ඇයට භාර වන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද, පොලිස් නිලධාරීන් ඇයගේ නිවසට යන විට එය වසා දමා තිබූ බවත්, ඇය තවමත් නිදැල්ලේ පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම කාන්තාව පොලිස් නිලධාරියා සහ අදාළ චීන ජාතිකයන් අතර ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කරමින්, කප්පම් මුදල් ඉල්ලා සිටීමට සහ එම මුදල් ලබා ගැනීමට සහාය වී ඇති බවට සැක කෙරේ. ආරංචි මාර්ගවලට අනුව, එක් විදේශ ගමන් බලපත්‍රයක් සඳහා රුපියල් 300,000 බැගින් ලබා ගන්නා ලෙස ඇයට උපදෙස් ලැබී ඇති අතර, ඒ අනුව ගමන් බලපත්‍ර 19 සඳහා අය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 5.7 කට අධිකය. මෙම අතිවිශාල මුදල එකතු කළ අදාළ කාන්තාව නීතියේ රැහැනට කොටු කර ගැනීම විමර්ශකයන්ගේ මූලිකම ඉලක්කය වී ඇත.
විදේශිකයන්ගේ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු සෘජු පැමිණිල්ලකට අනුව මීට පෙර වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් විය. ඊට පෙර, අන්තර්ජාල වංචාවලට සම්බන්ධ බවට සැකපිට චීන ජාතිකයන් 92 දෙනෙකු රාජගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, එහිදී ඔවුන්ගේ ගමන් බලපත්‍ර 92 ම පොලිස් භාරයට ගෙන තිබුණි. කෙසේ වෙතත්, සාමාන්‍ය නීතිමය ක්‍රියාපාටිවලින් බැහැරව ඉන් ගමන් බලපත්‍ර 19 ක් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දින 15 ක පමණ කාලයක් කිසිදු නිල සටහනකින් තොරව තම භාරයේ තබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.
නීත්‍යානුකූල ආගමන විගමන ක්‍රියාපටිපාටිය අනුගමනය කරනු වෙනුවට, අදාළ කාන්තාව මාර්ගයෙන් අල්ලස් මුදල් ලබා ගනිමින් මෙම ගමන් බලපත්‍ර යළි ලබා දීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වහාම ඊට මැදිහත් විය. ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මෙරටට පැමිණෙන විදේශිකයන් නිරීක්ෂණය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල මෙවැනි වංචාවන් සහ ජාවාරම් බහුලව සිදුවන බව වාර්තා වේ. සංචාරක වීසා මත පැමිණෙන බොහෝ පිරිස් බලධාරීන්ට රහසිගතව විවිධ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වන බව පෙන්වා දෙන ආරංචි මාර්ග, මෙවැනි නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට චීන තානාපති කාර්යාලය ද නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහයෝගය සහ දිරිගැන්වීම ලබා දෙන බව තහවුරු කරයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම මෙන්ම වීසා නිකුත් කිරීමෙන් පසු විදේශිකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීම මෙවැනි සයිබර් අපරාධ ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන්ට පහසුකම් සපයා ඇති බවයි. මෙම තත්ත්වය ජාතික ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් වන බැවින්, ආගමන විගමන පාලකවරයාගේ වගකීම්වලට අමතරව පොලිස් සහ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ එක්ව විදේශිකයන් ලුහුබැඳීමේ ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවටත්, විශේෂයෙන් ව්‍යාපාරික සහ ශිෂ්‍ය වීසා අනුමත කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් දැඩි කළ යුතු බවටත් අදාළ අංශ විසින් යෝජනා කර තිබේ.
