ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු මෙන්ම සතර සමූහ සේවාවේ නිර්මාතෘ සහ එහි ප්‍රධාන කර්තෘ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (30) දින සිදු වූ මෙම වියෝව වන විට ඒ මහතා 82 වන වියෙහි පසුවිය. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු ද වන චන්ද්‍රසෝම පෙරේරා මහතා මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ ගණිතය විෂය සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ විශිෂ්ට ගුරුවරයෙකු මෙන්ම දක්ෂ කතුවරයෙකි.අභාවප්‍රාප්ත චන්ද්‍රසෝම පෙරේරා මහතාගේ දේහය දැනට නූගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ අංක 8/2 දරන ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර තිබේ. ඒ මහතා පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ජූනි මස 02 වන අඟහරුවාදා පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇත.
මෙරට පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම උදෙසා ඔහු විසින් ආරම්භ කරන ලද ‘සතර ප්‍රකාශන’ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ප්‍රකාශන ආයතනයක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනේ. 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විවිධ විෂයන්ට අදාළ අතිරේක පොත්පත්, ප්‍රශ්න පත්‍ර සහ වැඩපොත් මුද්‍රණය කර බෙදාහැරීම මෙම ආයතනය මගින් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණිවල, එනම් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගණිතය, සිංහල සහ පොදු දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් චන්ද්‍රසෝම පෙරේරා මහතා සතර ප්‍රකාශන ආයතනය සමඟ එක්ව ඉටුකළ දීර්ඝකාලීන මෙහෙවර මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේම ඇගයීමට ලක්ව ඇත.
