15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා ලබා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 දරන අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් අද (12) දින ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම නඩුව අද දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, සැකකාර හිමියන් මැයි 12 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබමින් අද දින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අංක 08 මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය මෙතෙක් තම අධිකරණය වෙත ලැබී නොමැති බවයි. එසේම සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින පසුබිමක යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට තමාට නෛතික ප්‍රතිපාදන නොමැති බවත්, පවතින තත්ත්වය අනුව එවැනි නියෝගයක් නිකුත් කරන්නේ නම් එය සැකකරු නිරීක්ෂණය කර බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින්ම සිදු කළ යුත්තක් බවත් ඒ මහතා පැහැදිලි කළේය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් අද දින අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් කරුණු පැහැදිලි කළ අතර, වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මහතා හරහා එවන ලද වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එමගින් පෙන්වා දී තිබුණේ සැකකාර හිමියන් දුර බැහැර ප්‍රදේශයකට රැගෙන යාමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොපසුවන බවත්, විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය කිරීමට ඇති බැවින් උන්වහන්සේ අද දින අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත්ය.
නඩු විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නිට්ටඹුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන මහතා සඳහන් කළේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි. ඒ අනුව සියලු පාර්ශවයන්ගේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව එළැඹෙන 15 වන සිකුරාදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදිනට විමර්ශන ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.
සැකකාර අටමස්ථානාධිපති හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා වෙත එල්ල වී ඇති බරපතළ ලිංගික හිංසන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ඊට අමතරව, වෛද්‍යවරුන් සහ නීතීඥවරුන් වැනි වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සමාජ මාධ්‍ය හරහා මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු අසා තීන්දු ලබා දීමේ ප්‍රවණතාවක් පවතින බව පවසමින් ඒ මහතා චෝදනා කළේය.
මෙම සිදුවීමට අදාළව පල්ලේගම හේමරතන හිමියන් ඉකුත් 8 වනදා රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරන ලද නියෝගයකට අනුවය. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත, එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂිකා නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය විසින් 22424/2026 බී දරන නඩුව යටතේ අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම අත්අඩංගුවට ගැනීමේ නියෝගය ලබා දී තිබුණි.
අද දින පැවති නඩු විභාගය සඳහා පැමිණිල්ල වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නඩු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන නිලධාරීන් පෙනී සිටියහ. සැකකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ නීතීඥවරුන් වන හේමන්ත ගමගේ, කූජන බානගොඩ, ෂමින්ද හේරත්, ජනිත් මහසෙන්, හිමංසා සමරදිවාකර මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන්, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, කාලිංග රවීන්ද්‍ර, මදාරා විජේසිංහ, සහ ජයලත් අබේසිංහ ඇතුළු අනුරාධපුරයේ නීතීඥවරුන් 30කට ආසන්න පිරිසක් විවෘත අධිකරණයේ පෙනී සිටියහ. එසේ වුවද ජ්‍යෙෂ්ඨ නීතීඥ ස්වර්ණමාලී අනුරාධනායක, නීතීඥ සංජය රත්නායක සහ සුනන්ද තෙන්නකෝන් ඇතුළු නීතීඥවරුන් සහ නීතීඥවරියන් 7 දෙනෙකු සැකකරු වෙනුවෙන් පෙනී නොසිටීමද දක්නට ලැබිණි.
