this-year-rajya-vesak-festival-is-called-dakshina-prabha-in-mataradi

2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය "දක්ෂිණා ප්‍රභා" නමින් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 27 වැනිදා සිට ජුනි මස 01 වැනිදා දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, මැයි මස 30 වැනි දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය මුල් කරගනිමින් දාන, සීල, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.




මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය තෝරාගෙන ඇති අතර එහි පූර්ව සංවිධාන කටයුතු බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට බඳුන් විය.

"අභිත්ථරේථ කල්‍යාණේ" යන තේමාව යටතේ මෙවර වෙසක් මංගල්‍යය පැවැත්වෙන අතර බෞද්ධ පුනරුදයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මාතර පුරවරය මේ සඳහා තෝරාගනු ලැබුවේ එහි පවතින ඓතිහාසික හා ශාස්ත්‍රීය වටිනාකම හේතුවෙනි. සම්බුදු සසුන ආලෝකවත් කළ මහා යතිවරයන් වහන්සේලා රැසක් බිහිකළ පින්බිමක් වන මාතර නගරය කවියෙන් සහ ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙන් ජාතියට ලබාදුන් උදාර පණිවිඩය යළිත් සිහිපත් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ.




"දක්ෂිණා ප්‍රභා" ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිෂ පූජා කලාපය යනුවෙන් කොටස් දෙකකට වෙන්කර ඇති අතර ප්‍රතිපත්ති පූජා කලාපය මාතර ඓතිහාසික කොටු පවුර කේන්ද්‍ර කරගනිමින් ස්ථාපනය කෙරේ. ආමිෂ පූජා කලාපය මාතර නගරය සහ වෙරළ උද්‍යානය ආශ්‍රිතව නිර්මාණය කිරීමට නියමිතව ඇත.

ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ ධර්ම දේශකයන් වහන්සේලා සහභාගී වන ධර්ම සාකච්ඡා සහ කවි බණ වැඩසටහන් පැවැත්වෙන අතර බැතිමතුන් සඳහා දාන, සීල සහ භාවනා වැඩසටහන් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ.



ආමිෂ පූජා කලාපය විචිත්‍රවත් කිරීම සඳහා මාතර කොටු පවුර සහ නගර මධ්‍යයේ දැවැන්ත තොරණ ඉදිවන අතර වෙරළ උද්‍යානයේදී නිර්මාණාත්මක වෙසක් පහන් කූඩු තරගයක් ද පැවැත්වේ. පරෙවි දූපත අසල මුහුදු වෙරළේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාවන් නිරූපණය කෙරෙන රූකඩ සංදර්ශන රැසක් මෙහිදී දැකගත හැකි වනු ඇත.

නවීන තාක්ෂණය භාවිත කරමින් අහසේ මැවෙන බෞද්ධ සංකේත සහිත AI තාක්ෂණික සංදර්ශන, LED තිර මඟින් ප්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් ජාතක කථා සහ බෞද්ධ චිත්‍රපට මෙවර උත්සවයේ සුවිශේෂී ආකර්ෂණීය අංග ලෙස එක් කර ඇත. එසේම දකුණට ආවේණික රූකඩ කලාව මඟින් ජාතක කථා ඉදිරිපත් කිරීම තුළින් දේශීය අනන්‍යතාව සහ බෞද්ධ උරුමය ලොවට විදහා දැක්වීමට ද පියවර ගෙන තිබේ.

වෙසක් කූඩු සහ භක්ති ගීත තරග පාසල් සහ විවෘත අංශ යටතේ පවත්වනු ලබන අතර නිර්මාණශීලීත්වය මත ජයග්‍රාහකයන් තෝරාගැනීම සඳහා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් පත් කර ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙන්ම සියලුම ආරක්ෂක අංශවල දායකත්වය ඇතිව මෙම ජාතික උත්සවය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ වෙළෙඳ ප්‍රජාව ඇතුළු පිරිසක් සහභාගී වූහ.