දැඩි සූර්ය තාපය සහ අධික වර්ෂාව වැනි දේශගුණික විපර්යාස හමුවේ පීඩාවට පත්වන අවදානම් සහිත ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන 'පැරාමෙට්‍රික්' (Parametric) රක්ෂණ ක්‍රමවේදය පිළිබඳව කථාබහක් නිර්මාණයවී ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ අධික උෂ්ණත්වය පවතින කාලවකවානුවලදී නිවසින් බැහැරව රැකියා කිරීමේදී සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙන අඩු ආදායම්ලාභී කාන්තාවන්ට මෙම රක්ෂණය මගින් මූල්‍යමය සහනයක් සැලසේ.
සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රම මෙන් නොව, මෙහිදී හානිය තක්සේරු කිරීමක් සිදු නොකරන අතර නියමිත පාරිසරික සීමාවන් ඉක්මවා ගිය සැණින් ස්වයංක්‍රීයව ගෙවීම් සිදු කෙරේ.ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඇඳුම් අලෙවිකරුවෙකු ලෙස කටයුතු කරන 42 හැවිරිදි ලතා සෝලංකි එවැනි එක් ප්‍රතිලාභියෙකු වන අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.72 ඉක්මවා ගිය විට ඇයට නිවසේ රැඳී සිටීමට මෙම රක්ෂණය මගින් මූල්‍යමය ශක්තියක් ලබා දෙයි. ඉන්දියාවේ සාමාන්‍ය ග්‍රාමීය මාසික ආදායම රුපියල් 10,000ක් පමණ වන පසුබිමක, රක්ෂණ වාරිකයට වඩා වැඩි මුදලක් සහනයක් ලෙස ලැබීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි. ලැන්සෙට් කවුන්ට්ඩවුන් පර්යේෂණ කණ්ඩායමට අනුව, 2024 වසරේදී ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩ කරන පැය බිලියන 247ක් අහිමි වී ඇති අතර එහි ආර්ථික පිරිවැය ඩොලර් බිලියන 194ක් පමණ වේ.
මහීලා හවුසින් ට්‍රස්ට් (MHT) සහ 'ගෝ ඩිජිට්' රක්ෂණ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ගුජරාට් ප්‍රාන්තයේ කාන්තාවන් 30,000කට වැඩි පිරිසක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ. උෂ්ණත්වය ඉහළ යාම මත රුපියල් 850 සිට 2,000 දක්වා ගෙවීම් හිමිවන අතර, ඉන්දියාවේ නාගලන්ඩ් වැනි ප්‍රාන්තවල අධික වර්ෂාවෙන් සිදුවන හානි සඳහාද රජය මෙවැනි රක්ෂණ ක්‍රමවේද හඳුන්වා දී ඇත. ඵලදායීතාවය පිළිබඳ යම් ගැටලු පැවතුණද, දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා මෙම පාරදෘශ්‍ය රක්ෂණ ක්‍රමවේදය අතිශය වැදගත් බව සඳහන් වේ.
