olympic-gold-medalist-cycling-champion-retires-from-sports-and-into-nursing

ඔලිම්පික් රන් පදක්කම්ලාභී සුපිරි පාපැදි ක්‍රීඩිකා කේටි ආචිබෝල්ඩ් (Katie Archibald) ක්‍රීඩා පිටියෙන් සමුගෙන හෙද සේවයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රියෝ සහ ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගත් ඇය, වහාම ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක්‍රීඩා දිවියට සමුදෙන බව නිවේදනය කර ඇත.

වසර ගණනාවක් ලෝක, යුරෝපීය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතා රැසක් දිනාගත් 32 හැවිරිදි මෙම ක්‍රීඩිකාව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ග්ලාස්ගෝ (Glasgow) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ද සහභාගී නොවනු ඇත.




පාපැදි ක්‍රීඩාවෙන් ඈත් වී සැබෑ ලෝකය සමග සම්බන්ධ වීමට තමා තුළ කාලයක සිට දැඩි ආශාවක් පැවති බවත්, තමා බෙහෙවින් ආදරය කළ ලෝකයෙන් ඉවත්වීමට තිබූ බිය නිසා එම තීරණය ප්‍රමාද වූ බවත් ඇය පවසන්නීය. හෙද වෘත්තිය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ආචිබෝල්ඩ්, දැනටමත් ඒ සඳහා අවශ්‍ය පුහුණු කටයුතු ආරම්භ කර තිබේ. වෘත්තීය ජයග්‍රහණ හඹා යෑම වෙනුවට මානුෂීය සේවයකට කැපවීම තම අරමුණ බව ඇය සඳහන් කරයි.

ඇයගේ වසර 13ක ක්‍රීඩා ජීවිතය තුළ ලෝක, යුරෝපීය සහ ඔලිම්පික් මට්ටමින් පදක්කම් 51ක් වැනි විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් වූවාය. ග්‍රාස් ට්‍රැක් (grass-track) පාපැදි තරගාවලි හරහා ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි ඇය, ඉතා කෙටි කලකින් ග්‍රේට් බ්‍රිට්න් ඇකඩමි (Great Britain academy) සංචිතයට තේරී පත්වීමට වරම් ලැබීය. 2013 වසරේ යුරෝපීය කණ්ඩායම් තරගාවලියකින් සිය ජයග්‍රාහී ගමන ඇරඹූ ඇය, එතැන් පටන් ට්‍රැක් පාපැදි ක්ෂේත්‍රයේ ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක් ලෙස ප්‍රචලිත විය.




ජයග්‍රහණ මෙන්ම පෞද්ගලික ජීවිතයේ අභියෝග රැසකට ද මුහුණ දීමට ඇයට සිදු වූ අතර, විශේෂයෙන් 2022 වසරේ ඇයගේ සහකරු වූ රැබ් වෝර්ඩෙල්ගේ (Rab Wardell) හදිසි අභාවය ඇයට දැඩි මානසික පීඩනයක් ගෙන දුන් සිදුවීමක් විය. කෙසේ වෙතත්, ක්‍රීඩා පිටියේදී දැක්වූ නොපසුබට උත්සාහය සහ මානුෂීය ගුණාංග ඇයගේ ඉදිරි හෙද වෘත්තියට ද මහත් ශක්තියක් වනු ඇති බව බලධාරීන්ගේ මතයයි. තමා හෙද පුහුණුව සඳහා යොමු වූයේ විශ්‍රාම ගැනීමට බලපෑමක් නිසා නොව, අනාගතය පිළිබඳව පවතින උද්‍යෝගය නිසා බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.

olympic-gold-medalist-cycling-champion-retires-from-sports-and-into-nursing

olympic-gold-medalist-cycling-champion-retires-from-sports-and-into-nursing

olympic-gold-medalist-cycling-champion-retires-from-sports-and-into-nursing