a-suspicious-laptop-was-found-in-the-apartment-named-after-kapilas-wife

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව වැදගත් සාක්ෂි රැසක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. කොළඹ හයිඩ් පාර්ක් ප්‍රදේශයේ පිහිටි, මියගිය පුද්ගලයාගේ බිරිඳගේ නමින් ලියාපදිංචි කර ඇති මහල් නිවාසයක් සෝදිසි කිරීමේදී එහි තිබී ලැප්ටොප් පරිගණක දෙකක් සහ ලිපිගොනු විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් වූ කරුණු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත දැනුම් දෙනු ලැබීය.




ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය පේද්‍රිස් මාවතේ පිහිටි නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන සිටියදී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර හමුවූ අතර, එම මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී පොලිසිය මෙම තොරතුරු ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පසුගිය 12 වැනිදා මෙම නිවාස සංකීර්ණය පරීක්ෂා කර ඇති අතර, එහිදී අදාළ නිවසේ යතුරු මියගිය පුද්ගලයාගේ නිවසේ සේවිකාවක භාරයේ තිබී සොයාගෙන තිබේ. එම යතුරු උපයෝගී කර ගනිමින් නිවස පරීක්ෂා කිරීමේදී මෙම පරිගණක සහ ලිපිගොනු හමු වූ බවත්, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයට ප්‍රකාශ කළහ.

නඩු විභාගය අතරතුරදී මහේස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතා සඳහන් කළේ මරණය සිදු වූ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා මඟින් දර්ශන පෙන්නුම් කළද, ඒවායේ කිසිදු දත්තයක් පටිගත වී නොමැති බවයි. එහෙත් එම නිවස අවට පිහිටි සෙසු නිවාසවල ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කිරීමේදී, අදාළ දිනයේදී අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ ප්‍රවේශ ස්ථානය පටිගත වූ දත්ත සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. එම දර්ශන මඟින් අදාළ ස්ථානයට යන එන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමට විමර්ශන කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටියි.




මීට අමතරව, මරණකරු නැවතී සිටි ස්ථානයේ තිබී හමු වූ විවිධ ඖෂධ වර්ග රැසක් ද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම ඖෂධ වර්ග පිළිබඳව විද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශනවල වත්මන් ප්‍රගතිය ඉදිරි දිනයකදී අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය.