the-post-of-deputy-inspector-general-which-was-cut-from-shani-abeysekera-is-fixed

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමට පරිපාලන අභියාචන විනිශ්චයාධිකාරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කර තිබේ. වාර්තා වන අන්දමට මෙම උසස්වීම ලබා දිය යුත්තේ 2020 වර්ෂයේ අගෝස්තු මස 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදිය.




තමා විවිධ පළිගැනීම්වලට ලක් වූ බවත් ඒ හේතුවෙන් තමන්ට හිමි විය යුතු නියමිත උසස්වීම් අහිමි වූ බවත් පවසමින් අබේසේකර මහතා මීට පෙර ජාතික පොලිස් කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, එම ඉල්ලීම පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව ඔහු සිය අභියාචනය පරිපාලන අභියාචනාධිකාරිය වෙත යොමු කිරීමට පියවර ගත්තේය. එහිදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු විභාග කිරීමෙන් පසුව මෙම උසස්වීම ලබා දෙන ලෙසට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

පරිපාලන අභියාචනාධිකාරියේ මෙම තීරණය සම්බන්ධයෙන් මේ වන විටත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති අතර, ඊට අදාළ නිල නියෝගය අද හෝ හෙට දිනය තුළ නිකුත් වනු ඇති බවට පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. තවද, වසරකට අධික කාලයක සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුර පුරප්පාඩුව පවතින හෙයින්, බොහෝ දුරට එම හිස්ව පවතින තනතුර සඳහා ද ශානි අබේසේකර මහතා පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.