a-massive-transformation-of-the-indirect-tax-structure-of-the-country-through-the-new-bill

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම අරමුණු කරගනිමින් පසුගිය 2026 අප්‍රේල් 29 වන දින නිකුත් කරන ලද නව පනත් කෙටුම්පත හරහා මෙරට වක්‍ර බදු ව්‍යූහයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවීමට නියමිත බව KPMG ශ්‍රී ලංකා ආයතනය සිය 2026 මැයි මාසයේ බදු විශ්ලේෂණ වාර්තාව මගින් පෙන්වා දෙයි. බදු දැල වඩාත් පුළුල් කිරීම, විදේශීය ඩිජිටල් සේවාවන් වැට් බද්දට යටත් කිරීම සහ බදු නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීමේ මූලික අරමුණින් ඉදිරිපත් කර ඇති මෙම නව යෝජනා, පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමෙන් පසුව නීතියක් ලෙස බලාත්මක වනු ඇත.




මෙම නව බදු සංශෝධනවලට අනුව ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු ලියාපදිංචිය සඳහා වන වාර්ෂික ආදායම් සීමාව රුපියල් මිලියන 60 සිට 36 දක්වා පහත හෙළා ඇති අතර, අදාළ බදු කාල සීමාවකට අදාළ ආදායම් සීමාවද රුපියල් මිලියන 15 සිට 9 දක්වා අඩු කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මින් පෙර එම සීමාවෙන් පහළ ආදායම් ලැබූ කුඩා හා මධ්‍ය පරිමාණ තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන් රැසක් අලුතින් වැට් බදු දැලට හසුවන අතර, එය සුළු පරිමාණ ව්‍යාපාරිකයින් මත පැටවෙන දැවැන්ත ආර්ථික බරක් බවට පත්වනු ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකාව තුළ පදිංචියක් නොමැති විදේශීය සේවා සපයන්නන් විසින් දේශීය පාරිභෝගිකයින් වෙත සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහාද ජූලි 01 දා සිට වැට් බදු හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව අදාළ විදේශීය සේවා සපයන්නන් මෙරට බදු පද්ධතිය තුළ ලියාපදිංචි වී වාර්තා ඉදිරිපත් කිරීමට බැඳී සිටින නමුත්, අදාළ ඩිජිටල් සේවාව ලබාගන්නා පාර්ශවය නිසි ලේඛනගත කිරීම් සහිතව දැනටමත් වැට් ලියාපදිංචිය ලබා ඇති ආයතනයක් නම් ඔවුන්ට එම බද්ද අදාළ වන්නේ නැත.




මූල්‍ය සේවා සැපයීමේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද දැඩි තීරණයක් ගෙන ඇති අතර, ඒ අනුව ජූලි මාසයේ සිට එම අංශයේ වැට් බදු අනුපාතය 18% සිට 20.5% දක්වා සෘජුවම ඉහළ නංවා තිබේ. මූල්‍ය ක්ෂේත්‍රයේ බදු බර මෙලෙස ඉහළ යාම හරහා සෙසු සියලුම සේවාවන්ගේ මිල ගණන් ඉහළ යාමට එය ප්‍රබල ලෙස බලපානු ඇති බව අපේක්ෂා කෙරේ. මීට අමතරව දේශීය ආදායම් පනතට සමගාමීව "පඩිනඩි" වැනි ඇතැම් පාරිභාෂික යෙදුම් යළි අර්ථකථනය කිරීමටත්, නිශ්චිතව සඳහන් කර නොමැති ආයතනවල ලාභාංශ ආදායම වැට් බදු රාමුව යටතේ ව්‍යාපාරික ලාභ ලෙස නොසැලකීමටත් මෙම පනත් කෙටුම්පතෙන් පියවර ගෙන ඇත.

අපනයනකරුවන් දිරිගැන්වීමක් ලෙස යම් ඉලක්කගත සහන ලබාදීමටද මෙමගින් යෝජනා කර ඇති අතර, ඇඟලුම් මිලදී ගැනීමේ කාර්යාල හරහා විදේශීය සේවාදායකයින්ට සේවා සපයන සහ ඒ වෙනුවෙන් විදේශ විනිමයෙන් ගෙවීම් ලබන ආයතන සඳහා 2025 ඔක්තෝබර් 01 වනදා සිට ශුන්‍ය අනුප්‍රමාණ බදු සහනය හිමිවනු ඇත. එහෙත් යම් ව්‍යාපෘතියක් සඳහා ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර, උපකරණ හෝ වාහනවල බදු ගෙවීම් ප්‍රමාද කර ඇත්නම් සහ අදාළ ව්‍යාපෘතිය අවසන් වී මාසයක් ඇතුළත එම බදු මුදල් පියවා නොමැති නම්, ඒ සඳහා යෙදවුම් වැට් බදු බැර ලබාගැනීමේ අවස්ථාව අහිමි වී යනු ඇත.



කොළඹ වරාය නගරය තුළ "ක්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර" ලෙස නම් කර ඇති ආයතන වෙත සැපයුම් සිදුකිරීමේදී වැට් බදු නිදහස් කිරීම් ලබාදීමටද යෝජනා වී ඇති අතර, එමගින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල බදු සහන හිමිවන පසුබිමක සාමාන්‍ය ජනතාව මත පවතින අධික බදු බර එලෙසම පවතින බව පෙනී යයි. කෙසේ වෙතත් නව පනත යටතේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබන වෙළෙඳුන්ට ඔවුන් සතුව විකිණීමට ඇති ඉතිරි තොග සඳහා යෙදවුම් බදු බැර ලබාගත හැකි වුවද, සෑම ලියාපදිංචි ව්‍යාපාරිකයෙකුම නියමිත දින සිට මාස තුනක් ඇතුළත එසැනින් ගනුදෙනු වාර්තා කරන, ඉන්වොයිස් නිකුත් කරන සහ දත්ත රැස් කරන ආරක්ෂිත විකුණුම් ස්ථාන (POS) පද්ධති භාවිතයට යොමුවීම අනිවාර්ය කර තිබේ. එමෙන්ම, බදු කාල සීමාව අවසානයේදී පමණක් නොව, අදාළ කාල සීමාව තුළ අඛණ්ඩව වැට් බදු උපලේඛන ඉදිරිපත් කිරීමට බදු ගෙවන්නන්ට ඉඩ සැලසීම හරහා බදු ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ.

බදු නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පනවා ඇති දඬුවම් ද සැලකිය යුතු ලෙස දැඩි කර ඇති අතර, වැරදි සඳහා පනවන උපරිම දඩ මුදල රුපියල් 25,000 සිට රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව වංචනික අන්දමින් බදු ප්‍රතිපූරණ ඉල්ලා සිටීම සහ වලංගු ලේඛන ලබාදීමට අපොහොසත් වීම වැනි වැරදි සඳහා මාස හයක් දක්වා සිරදඬුවම් නියම කිරීමටත්, බදු පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය පැවරීමටත් මෙමගින් විධිවිධාන යොදා ඇත.

පසුගිය 2025 වසරේදී රුපියල් බිලියන 2,202 ක බදු ආදායම් ඉලක්කය අභිබවා යමින් රුපියල් බිලියන 2,244 ක වාර්තාගත ආදායමක් උපයාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත, 2026 වසර සඳහා රුපියල් බිලියන 2,402 ක දැවැන්ත නව ඉලක්කයක් ලබා දී තිබේ. මෙය සපුරා ගැනීම සහ බදු අනුකූලතාවය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා අදාළ බලධාරීන් මේ වන විට රේගුව සමග එක්ව කටයුතු කරමින් සිටින අතර, ඒකාබද්ධ විගණන සිදුකිරීම සහ දත්ත හුවමාරු කරගැනීම සඳහා දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකටද එළඹ ඇත. බදු පදනම තවදුරටත් පුළුල් කිරීමේ අඛණ්ඩ පියවරක් ලෙස, මේ වන විට පුද්ගලයින් මිලියන 12 කට ලබා දී ඇති බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) ප්‍රමාණය ඉදිරියේදී මිලියන 17 දක්වා ඉහළ නැංවීමටද බදු බලධාරීන් සැලසුම් කර තිබේ.