
කටුගස්තොට ගොහාගොඩ ප්‍රදේශයේදී අද අලුයම 2.45 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.
යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ අධීක්‍ෂකවරයෙකු ලෙස සේවය කරන වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු බවයි. ඔහුගේ කනකට සහ උරහිසකට තුවාල සිදුව ඇති අතර, අදාළ වෙඩි තැබීම ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 20ක පමණ දුරකින් පිහිටි ස්ථානයකදී සිදුව ඇත. යම් පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම අපරාධය සිදු කරන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ අතර, ගාල්ල බන්ධනාගාරය තුළදී ද ඊයේ (03) දිනයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි. බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් දෙදෙනෙකු ඉන් පළා යාමට උත්සාහ කර ඇති අතර, එම පළා යාම වැළැක්වීමේ අරමුණින් බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ. එහිදී එක් සිරකරුවෙකුගේ උරහිස ප්‍රදේශයට වෙඩි වැදී තුවාල සිදුව ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම රැඳවියා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
