a-disgrace-to-the-officials-including-olugala-who-catch-the-expatriate-gangsters

විදේශගතව සැඟවී සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුම් අකර්මණ්‍ය කිරීම සඳහා සැලසුම්සහගත මඩ ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ඉලක්ක කරගනිමින් විවිධ අභූත චෝදනා එල්ල කිරීම, අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ යූටියුබ් නාලිකා ඔස්සේ විවිධ සංවාද ප්‍රචාරය කිරීම මේ යටතේ සිදු කෙරේ.

දැනට විදේශගතව සිටින කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල කල්ලි නායකයන් කිහිපදෙනකු විසින් මෙම සංවිධානාත්මක මඩ මෙහෙයුම දියත් කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත.




මෙරට ආරක්ෂක අංශ විසින් විදේශයන්හි සැඟවී සිටින දරුණු ගණයේ පාතාල නායකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පුළුල් විමර්ශන මාලාවක් ආරම්භ කර තිබේ. එම විමර්ශන කටයුතු භාරව සක්‍රීයව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීම සහ ඔවුන්ගේ රාජකාරි කටයුතු අඩපණ කිරීමේ පටු අරමුණින් පාතාල කල්ලි සාමාජිකයන් විසින් මෙවැනි උපක්‍රමශීලී ක්‍රියාමාර්ග වෙත යොමුවී ඇති බව වාර්තා වෙයි.

විදේශගතව වෙසෙන පාතාල අපරාධකරුවන් මෙරට නීතිය හමුවට පැමිණවීමේ භාරදූර කාර්යයේ නිරත වන සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ජීවිත තර්ජන පවා එල්ල වී ඇති බව හෙළි වේ. තමන්ට එල්ල වී ඇති මෙම දැඩි ආරක්ෂක තර්ජන පිළිබඳව ඒ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ද නිල වශයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.




මේ අතර, සහකාර පොලිස් අධිකාරිවරයාගේ කීර්ති නාමයට සෘජුවම හානි පමුණුවන ආකාරයේ සැකකටයුතු හඬපටයක් මේ දිනවල විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතින බව නිරීක්ෂණය වී තිබේ. මෙම ව්‍යාජ හඬපටය සමාජගත කරන සහ එය ප්‍රචාරය කිරීමට කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව පොලිසිය විසින් මේ වන විටත් විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ අරඹා ඇත.

අදාළ හඬපටය මඟින් විදේශගතව සිටින පාතාල අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ අරුන් නමැත්තෙකු අතර සිදුවන සාකච්ඡාවක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී රොහාන් ඕලුගල මහතාගේ නම ද ඈඳා ගනිමින් විවිධ ප්‍රකාශ සිදු කරනු ලබයි. කංජිපානි ඉම්රාන් නමැති අපරාධකරු එම හඬපටය ඔස්සේ පෙන්වා දීමට උත්සාහ කරන්නේ රොහාන් ඕලුගල මහතා පාතාල කල්ලිවලින් මුදල් ලබාගෙන බෙලරූස්, කාම්බෝජය සහ මලයාසියාව වැනි රටවල සංචාරය කර ඇති බවයි.



කෙසේ වෙතත්, සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරිවරයා කිසිදු අවස්ථාවක එම රටවලට ගොස් නොමැති බවයි. එමඟින් තහවුරු වන්නේ මෙම හඬපටය මුළුමනින්ම ඕලුගල මහතාගේ කීර්ති නාමය කෙලෙසීම සඳහාත්, උසස් පොලිස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ඔහුව ලක් කිරීම සඳහාත් සිතාමතාම ගොතන ලද්දක් බවයි.

පසුගියදා ලෝක තරුණ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ද මෙම නිලධාරියාගේ සේවය ඇගයීමට ලක් කළේය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ අතීතයේ සිටි ඇතැම් පොලිස් නිලධාරීන් ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගෙන විදේශගත වුවද, අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට අපොහොසත් වී හිස් අතින්ම පෙරළා පැමිණි බවයි. එහෙත් වත්මන් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා අදාළ රතු වරෙන්තු උපයෝගී කරගනිමින් විදේශයන්හි සැඟවී සිටින පාතාල අපරාධකරුවන් විශාල පිරිසක් සාර්ථක ලෙස මෙරටට කුදලාගෙන ඒමට සමත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.