මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇති ශිරාන් බාසික් නැමැත්තා ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන ඔහු එරට තුළ අති විශාල ධනවතෙකු ලෙස ජීවත්ව ඇති බව අනාවරණය වේ.
දැනට අත්අඩංගුවේ පසුවන මෙම සැකකරු කෙසේ හෝ නීතිමය රැහැනින් මිදී නිදහස් වීම සඳහා මේ වන විට දැඩි උත්සාහයක නිරත වන බවට දේශීය බුද්ධි අංශ වෙත විශේෂ තොරතුරු ලැබී තිබේ.සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්, ප්‍රබල දේශපාලනඥයන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් සමඟ ද ඉතා කිට්ටු සබඳතා පවත්වාගෙන ගොස් ඇති ශිරාන් බාසික්, පසුගිය වකවානුවේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක රැස්වීම් සාර්ථක කර ගැනීම සඳහා ද දායකත්වය සපයා ඇති බව බුද්ධි අංශ වාර්තාවල සඳහන් වේ. එහිදී දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රදේශවලින් බස් රථ මාර්ගයෙන් විශාල පිරිසක් අදාළ දේශපාලන රැස්වීම් වෙත ඇද ගැනීමට ඔහු කටයුතු කර ඇත. මෙම දේශපාලන රැස්වීම්වලින් එකක් කොළඹ සුගථදාස ක්‍රීඩාංගණයේදී ද, අනෙක දෙහිවල ප්‍රදේශයේදී ද පවත්වා තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
ශිරාන් බාසික් නැමැත්තාට අයත් මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන මෙන්ම වටිනා දේපළ රැසක් ශ්‍රී ලංකාවේ සහ විදේශීය රටවල පවතින බව සොයාගෙන ඇත. මීට පෙර අවස්ථාවකදී මොහුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසිය, මොහුගේ පුත්‍රයා සතුව තිබූ වටිනා මෝටර් රථයක් ඇතුළු තවත් දේපළ රැසක් තහනමට ලක් කිරීමට පියවර ගත්තේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී කොටු කරගත් මෙම ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු සෙසු සැකකරුවන් පිරිස මෙරට නීතිය හමුවට පමුණුවනු පිණිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ බලධාරීන් සහ ආරක්ෂක අංශ මේ වන විට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
