
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සංවේදී සිදුවීමට අදාළ නීතිමය පියවර ක්‍රියාත්මක වන ආකාරය සහ එම දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (25) රැස්වූ මෙම සංසදයේ සාකච්ඡාව මෙහෙයවනු ලැබුවේ එහි සභාපතිනිය මෙන්ම අමාත්‍යවරියක ද වන සරෝජා සාවිත්‍රි පෝබ්රාජ් මහත්මිය විසිනි.
එහිදී මන්ත්‍රීවරියන් අවධාරණය කර ඇත්තේ අදාළ නීතිමය ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන්නේද යන්න පිළිබඳව සමීපව සොයා බැලිය යුතු බවයි.මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙන්ම පොදුවේ ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනයන් වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව හා ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ලබන මස 5 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මෙන්ම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට ප්‍රධාන ආයතන රැසක නියෝජිතයන් මෙම විශේෂ හමුව සඳහා කැඳවීමට නියමිතය. සමාජයීය වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව රට තුළ කාන්තා හා ළමා සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳවද එහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.
අනුරාධපුර සිදුවීමට අදාළ ඉදිරි නීතිමය කටයුතු අධීක්ෂණය කිරීම මෙන්ම කාන්තා හා ළමා හිංසන පිටුදැකීම උදෙසා ක්‍රියාත්මක කළ යුතු ආයතනික සහ නීතිමය ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ විශේෂ අනු කමිටුවක්ද ස්ථාපිත කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිවරියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වේ. හේමාලි වීරසේකර මහත්මිය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය මෙන්ම නීතිඥවරියන් වන සාගරිකා අතාවුද, නිලන්ති කොට්ටහච්චි, නිලූෂා ලක්මාලි ගමගේ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, හසාරා ලියනගේ, හිරුනි විජේසිංහ සහ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු මෙම විශේෂ අනු කමිටුවේ සෙසු සාමාජිකාවන් ලෙස කටයුතු කිරීමට පත්කර සිටිති.
