orders-to-recall-the-case-against-shashi-weerawansa-on-the-25th

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් අවිධිමත් ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුව ලබන 25 වැනිදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඊයේ (11) නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ අවස්ථාවේදී, දැනට ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියාය.




නඩු විභාගයේ සාක්ෂි මෙහෙයවීමට පෙර, මෙම නඩුවට අදාළව සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති පරිගණක මඟින් උත්පාදිත ලේඛන සම්බන්ධ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව අවශ්‍ය බව විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට දන්වා සිටියේය. සාක්ෂි ආඥා පනත යටතේ විත්ති පාර්ශ්වයට හිමිවිය යුතු එම ප්‍රවේශය මෙතෙක් ලබා දී නොමැති බැවින් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් අවධාරණය කළේය.

විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ මෙම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙන්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මීළඟ නඩු දිනයේදී දැනුම් දිය යුතු බවට නියෝග කළේය. ඒ අනුව ලබන මැයි මස 25 වැනිදා නඩුව යළි කැඳවීමට තීරණය කෙරුණු අතර, එදිනට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විමර්ශන අංශවල ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.